Latestදේශීය

තුන්වන පුරවැසියා නොහොත් කතානායක පුරාණය

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ රාජ්‍ය මන්ත්‍රණ සභාව ක්‍රියාත්මක වූ 1931 සිට මේ දක්වා සිටි
කතානායකවරුන් පිළිබඳව විමර්ශනාත්මක සටහනක් බී.බී.සී. සිංහල වෙබ් අඩවිය තබා ඇත.

එම සටහන සම්පූර්ණයෙන් උපුටාගෙන පහත දැක් වේ :

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කතානායකවරුන් ගැන මේ කරුණු දන්නවා ද?

ශ්‍රී ලංකාවේ තුන් වන පුරවැසියා ලෙස සලකන කතානායක ධූරය මෙරට සැලකිය යුතු ගෞරවයක් හිමි තනතුරකි.

1931 වසරෙන් ඇරඹුණු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය පුරා කතානායකවරුන් ලෙස මන්ත්‍රීවරුන් 21 දෙනෙකු කටයුතු කර තිබේ.

මේ, ඔවුන් පිළිබඳ විශේෂ තොරුතුරු ඇතුළත් ලිපියකි.

‘කතානායක අසුනේ සිහිසුන්ව වැටී මිය ගිය’ ශ්‍රී ලංකාවේ පළමු කතානායක – ෆ්‍රැන්සිස් මොලමුරේ

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පළමු කතානායකවරයා වන්නේ, ෆ්‍රැන්සිස් මොලමුරේ ය.

ඔහු 1931 වසරේ සිට 1935 වසර දක්වා පැවති ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කතානායක ධූරයට පත්වූයේ, 1931 වසරේ ජූලි 07 වන දා ය.

ෆ්‍රැන්සිස් මොලමුරේ ලංකාවේ ව්‍යවස්ථාදායක සභාවේ කතානායක ධූරයට පත් පළමු පුද්ගලයා විය. ඔහු ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර පාසල් කාලයේ ඉගෙනුමට මෙන් ම ක්‍රිකට් ක්‍රීඩාවට ද දක්ෂයෙකු විය.

උසස් අධ්‍යාපනය ලබා නීතිඥ වෘත්තිය තෝරාගත් ෆ්‍රැන්සිස් මොලමුරේ, ශ්‍රී ලංකාවේ දේශපාලනයට ප්‍රවිෂ්ට වූයේ, ලංකා ජාතික සංගමයේ සාමාජිකයෙකු ලෙස ය.

1931 වසරේදී දැදිගම ආසනයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් විය. ඔහු කතානායක ධූරයට පත්වූයේ, එම කාලයේදී ය.

1934 දෙසැම්බර් 10 වන දා ඔහු කතානායක ධූරයෙන් ඉල්ලා අස් විය.

1947 වසරේ පැවති ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තු මැතිවරණයට ෆ්‍රැන්සිස් මොලමුරේ තරග කළේ, බළන්ගොඩ ආසනයෙනි. එහිදී ඔහු නැවතත් මැති සබයට තේරී පත්වූ අතර, 1947 වසරේදී පිහිටවූ පාර්ලිමේන්තුවේ කතානායක ධූරයට ද පත්විය.

1951 ජනවාරි 24 වන දා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ ඔහු කතානායක අසුන මත ම සිහිසුන් වී ඇද වැටුණු අතර රෝහල්ගත කිරීමෙන් පසු පසු දා එනම් ජනවාරි 25 වන දා අභාවප්‍රාප්ත වී තිබිණි.

එෆ්.ඒ ඔබේසේකර

1931 ජූලි 07 වන දා ෆ්‍රැන්සිස් මොලමුරේ කතානායක ලෙස තේරී පත්වන විට, ඔබේසේකර නියෝජ්‍ය කතානායක ලෙස පත් කර තිබිණි.

ෆ්‍රැන්සිස් මොලමුරේ 1934 දෙසැම්බර් 10 වන දා කතානායක ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව එෆ්.ඒ. ඔබේසේකර දෙසැම්බර් 11 වන දා කතානායක ධූරයට පත්විය.

අවිස්සාවේල්ල ආසනය නියෝජනය කරමින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වූයේ, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ය.

ඔහු 1935 දෙසැම්බර් 07 දක්වා කතානායක ධූරය හෙබවීය.

වෛද්‍යලිංගම් දුරේසාමි

1936 සිට 1947 දක්වා ක්‍රියාත්මක වූ දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කතානායක ධූරය දරුවේ, වෛද්‍යලිංගම් දුරේසාමි ය.

ඔහු 1936 මාර්තු 17 වන දා සිට 1947 ජූලි 04 දක්වා කතානායක ධූරය දැරී ය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය)

1947 වසරේ පිහිටවූ ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුව හෙවත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ද පළමු කතානායකවරයා වූයේ, ෆ්‍රැන්සිස් මොලමුරේ ය.

ඔහු 1947 ඔක්තෝබර් 14 වන දා සිට 1951 ජනවාරි 25 දක්වා එම ධූරය දැරී ය.

ඇල්බර්ට් එෆ්. පීරිස්

1951 ජනවාරි 25 වන දා මොලමුරේගේ හදිසි අභාවයෙන් පසු 1951 පෙබරවාරි 13 වන දා සිට 1952 අප්‍රේල් 08 දක්වා ඇල්බර්ට් එෆ්. පීරිස් කතානායක ධූරය දැරුවේ ය.

ශ්‍රී ලංකාවේ දෙවන පාර්ලිමේන්තුවේ (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) කතානායකවරයා ලෙස පත්වූයේ ද, නාත්තන්ඩිය ආසනය නියෝජනය කළ ඇල්බර්ට් එෆ්. පීරිස් ය.

ඔහු 1952 ජූනි 09 වන දා සිට 1956 පෙබරවාරි 18 දක්වා ඔහු එම ධූරය දැරුවේ ය.

එච්.එස්. ඉස්මයිල්

ශ්‍රී ලංකාවේ තුන් වන පාර්ලිමේන්තුවේ (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) කතානායක ධූරයට පත්වූයේ, පුත්තලම ආසනය නියෝජනය කළ එච්.එස්. ඉස්මයිල් ය.

ඔහු 1956 අප්‍රේල් 19 වන දා සිට 1959 දෙසැම්බර් 05 වන දා දක්වා කතානායක ධූරයේ රැඳී සිටියේ ය.

ටී.බී. සුබසිංහ

ශ්‍රී ලංකාවේ සිව් වන පාර්ලිමේන්තුවේ (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) කතානායක ධූරය කටුගම්පොළ ආසනයෙන් තරග කළ ටී.බී. සුබසිංහට හිමි විය.

එහි විශේෂත්වය වූයේ, සුළුතර ආණ්ඩුවේ නාමිකයා වූ ඇල්බර්ට් එෆ්. පීරිස් පරාජය කර විපක්ෂයේ බහුතර ඡන්දයෙන් ඔහු කතානායක ධූරයට තේරීපත් වීම ය.

ඊට අමතරව, සිව් වන පාර්ලිමේන්තුව දින 24කට සීමා වූ හෙයින්, ටී.බී. සුබසිංහගේ කතානායක ධූරය ද දින 24කට සීමා විය.

ඒ අනුව, ඔහු කතානායක ධූරය දැරුවේ, 1960 මාර්තු 30 වන දා සිට අප්‍රේල් 23 වන දා දක්වා පමණි.

පස් වන පාර්ලිමේන්තුවේ සිට හත් වන පාර්ලිමේන්තුව දක්වා (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය)

1960 සිට 1964 දක්වා කාලය තුළ පැවති පස් වන නියෝජිත මන්ත්‍රී මණ්ඩල පාර්ලිමේන්තුවේ කතානායකවරුන් දෙදෙනෙක් වූහ.

ඒ අනුව, 1960 අගෝස්තු 05 වන දා සිට 1964 ජනවාරි 24 දක්වා ආර්.එස්. පැල්පොළ කතානායක ධූරය දැරූ අතර, ඔහු ඉල්ලා අස්වීමෙන් පසු 1964 ජනවාරි 24 සිට 1964 දෙසැම්බර් 17 දක්වා හියු ප්‍රනාන්දු කතානායක ධූරයේ කටයුතු කළේ ය.

1965 සිට 1970 දක්වා ක්‍රියාත්මක වූ හය වන නියෝජිත මන්ත්‍රී මණ්ඩල පාර්ලිමේන්තුවේ ද කතානායකවරුන් දෙදෙනෙක් වූහ.

1951 වසරේදී කතානායක ධූරයට මුලින් පත්වූ ඇල්බර්ට් එෆ්. පීරිස් යළිත් වරක් 1965 අප්‍රේල් 05 වන දා කතානායක ධූරයට පත්වූ අතර ඔහු 1967 සැප්තැම්බර් 21 දක්වා ධූරය දැරී ය.

ඇල්බර්ට් එෆ්. පීරිස්ගේ අභාවයෙන් පසු ෂර්ලි කොරයා, 1967 සැප්තැම්බර් 27 සිට 1970 මාර්තු 25 දක්වා එම ධූරයෙහි කටයුතු කළේ ය.

ස්ටැන්ලි තිලකරත්න

ස්ටැන්ලි තිලකරත්න කතානායක ධූරයට පළමු වරට පත්වූයේ, හත් වන නියෝජිත මන්ත්‍රී මණ්ඩල පාර්ලිමේන්තුවේ ය.

1970 ජූනි 07 සිට 1972 මැයි 22 දක්වා ඔහු කතානායක ධූරයේ රැඳී සිටියේ ය.

1972 වසරේදී ආරම්භ වූ ප්‍රථම ජාතික රාජ්‍ය සභාවෙහි කතානායක ධූරයට ද පත් කෙරුණේ, ස්ටැන්ලි තිලකරත්න යි.

ඔහු, 1972 මැයි 22 සිට 1977 මැයි 18 දක්වා එම ධූරයෙහි කටයුතු කළේ ය.

ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස්

ශ්‍රී ලංකාවේ කතානායකවරුන්ගේ ඉතිහාසයේ ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් සුවිශේෂී වේ.

ඒ, ඔහු ජාතික රාජ්‍ය සභාවේ අවසන් කතානායකවරයා මෙන් ම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමු පාර්ලිමේන්තුවේ පළමු කතානායකවරයා ද වූ හෙයිනි.

ඔහු 1977 අගෝස්තු 04 වන දා සිට 1978 සැප්තැම්බර් 13 වන දා දක්වා දෙවන ජාතික රාජ්‍ය සභාවේ ද, 1978 සැප්තැම්බර් 07 වන දා සිට 1978 සැප්තැම්බර් 13 වන දා දක්වා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමු පාර්ලිමේන්තුවේ ද කතානායක ධූරයේ කටයුතු කළේ ය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමු පාර්ලිමේන්තුවේ කතානායක ධූරය දැරීමට ඔහුට හැකි වූයේ, දින 6ක කාලයක් පමණි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමු පාර්ලිමේන්තුවේ දින 6කින් පසු ආචාර්ය ආනන්ද තිස්ස ද සිල්වා කතානායක ධූරයෙන් ඉල්ලා අස්විය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමු පාර්ලිමේන්තුව

සමාජවාදී ජනරජයේ පළමු පාර්ලිමේන්තුව 1978 සැප්තැම්බර් 07 සිට 1988 දෙසැම්බර් 20 දක්වා ක්‍රියාත්මක වූ අතර එම කාලය තුළ කතානායකවරුන් තිදෙනෙක් පත්වූහ.

1978 සැප්තැම්බර් 07 වන දා සිට 1978 සැප්තැම්බර් 13 වන දා දක්වා ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස්, 1978 සැප්තැම්බර් 21 සිට 1983 අගෝස්තු 30 දක්වා එම්.ඒ. බාකීර් මාකාර් සහ 1983 සැප්තැම්බර් 06 සිට 1988 දෙසැම්බර් 20 දක්වා ඊ.එල්. සේනානායක යන මන්ත්‍රීවරු එම කාලය තුළ කතානායක ධූරය දැරූහ.

එම්.එච්. මොහොමඩ්

1989 මාර්තු 09 වන දා සිට 1994 ජූනි 24 වන දා දක්වා ශ්‍රී ලංකාවේ දෙවන පාර්ලිමේන්තුවේ කතානායක ධූරය එම්.එච්. මොහොමඩ් විසින් දරනු ලැබීය.

කේ.බී. රත්නායක

1994 සිට 2000 දක්වා ක්‍රියාත්මක වූ තුන් වන පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ කේ.බී. රත්නායක, 1994 අගෝස්තු 25 සිට 2000 අගෝස්තු 18 දක්වාත්, 2000 සැප්තැම්බර් 14 සිට 2000 ඔක්තෝබර් 10 දක්වාත් කතානායක ධූරය දැරුවේ ය.

අනුර බණ්ඩාරනායක

ශ්‍රී ලංකා කතානායකවරුන්ගේ ඉතිහාසයේ අනුර බණ්ඩාරනායකට හිමි වන්නේ, සුවිශේෂී ස්ථානයකි.

සිව් වන පාර්ලිමේන්තුවේ ඔහු කතානායක ධූරයට පත්වූයේ, 2000 ඔක්තෝබර් 18 වන දා ය.

1993 වසරේ ඔක්තෝබර් මාසයේදී සිය මවගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර එක්සත් ජාතික පක්ෂයට එක්වූ අතර එම පක්ෂයෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් විය.

ඔහු ඒකච්ඡන්දයෙන් කතානායක ධූරයට පත්වූයේ, විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස ය.

ඔහුගේ කතානායක ධූරය 2001 ඔක්තෝබර් 10 වන දා අවසන් විය.

ජෝසෆ් මයිකල් පෙරේරා

ශ්‍රී ලංකාවේ පස් වන පාර්ලිමේන්තුව වසර තුනකට සීමා විය. ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක යටතේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩු බලය යටතේ ක්‍රියාත්මක වූ එම පාර්ලිමේන්තුවේ කතානායකවරයා වූයේ, ජෝසෆ් මයිකල් පෙරේරා ය.

2001 දෙසැම්බර් 19 වන දා කතානායක ධූරයට පත්වූ ඔහු 2004 පෙබරවාරි 07 දක්වා එම ධූරයෙහි කටයුතු කළේ ය.

වි.ජ.මු. ලොකුබණ්ඩාර

2004 වසරේ පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය හිමි කර ගත් අතර එම පක්ෂය පිහිටවූ හය වන පාර්ලිමේන්තුවේ කතානායක ධූරය එක්සත් ජාතික පක්ෂයේ කතානායක අපේක්ෂකයාට හිමි වීම විශේෂත්වයකි.

එහිදී, එක්සත් ජනතා නිදහස් සන්ධානය නම් කළ ඩිව් ගුණසේකරට වඩා එක් ඡන්දයක් වැඩියෙන් ලබා ගත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක වි.ජ.මු. ලොකුබණ්ඩාර කතානායක ධූරයට පත් විය.

ඡන්ද විමසීමේදී ඩිව් ගුණසේකරට ඡන්ද 109ක් සහ වි.ජ.මු. ලොකුබණ්ඩාරට ඡන්ද 110ක් ලැබී තිබිණි.

ඔහු 2004 අප්‍රේල් 22 සිට 2010 පෙබරවාරි 09 දක්වාත්, 2010 මාර්තු 09 සිට 2010 අප්‍රේල් 20 දක්වාත් කතානායක ධූරයේ සේවය කළේ ය.

චමල් රාජපක්ෂ

2010 වසරේ පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය ගැනීමෙන් පසු කතානායක ධූරයට පත්වූයේ, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහෝදරයෙකු වන චමල් රාජපක්ෂ ය.

ඔහු කතානායක ධූරය දැරූ හත් වන පාර්ලිමේන්තුව 2010 අප්‍රේල් 22 සිට 2015 ජූනි 26 දක්වා පැවතිණි.

ඔහු හම්බන්තොට දිස්ත්‍රික්ක‍ය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස 1989 වසරේදී පාර්ලිමේන්තුවට තේරී පත්විය.

1989 සිට සෑම මැතිවරණයකදී ම තම අසුන ආරක්ෂා කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අඛණ්ඩව කටයුතු කර ඇත.

කෙසේ වෙතත්, ඔහු මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ නැත.

කරු ජයසූරිය

2015 වසරේ සිට 2020 වසර දක්වා පැවති අට වන පාර්ලිමේන්තුවේ කතානායක ධූරය, කරු ජයසූරියට හිමි විය.

1997 කොළඹ මහ නගර සභාවේ පුරපති වශයෙන් තේරී පත්වූ ඔහු, 2001 වසරේදී පළමු වරට පාර්ලිමේන්තුවට තේරීපත් විය.

ඔහු 2015 සැප්තැම්බර් 01 සිට 2020 මාර්තු 02 දක්වා කතානායක ධූරයේ කටයුතු කළේ ය.

2019 වසරේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ පත් කළ අවස්ථාවේ කතානායකවරයා ලෙස කටයුතු කළේ, කරු ජයසූරිය යි.

එම කාලයේ පැවති පාර්ලිමේන්තු සැසිවලදී ඔහුට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ විවිධ පීඩාවන්ට ලක්වීමට ද සිදු විය.

පාර්ලිමේන්තුව තුළ ඇති වූ නොසන්සුන් තත්ත්වයන් අතරතුර ඔහුගේ ආසනයට ජලය වත්කිරීමේ සිද්ධියක් ද වාර්තා විය.

මහින්ද යාපා අබේවර්ධන

ශ්‍රී ලංකාවේ නව වන පාර්ලිමේන්තුවේ අවසන් වරට කතානායක ධූරය හෙබවූයේ, මහින්ද යාපා අබේවර්ධන ය.

2020 අගෝස්තු 20 වන දා කතානායක ධූරයට පත්වූ ඔහු අවසන් වරට පාර්ලිමේන්තුව විසුරුවන ලද 2024 සැප්තැම්බර් 24 දක්වා එම ධූරය දැරීය.

1983 වර්ෂයේදී ඔහුගේ ජාතික තලයේ ප්‍රථම දේශපාලන ආගමනය සනිටුහන් වූයේ, එක්සත් ජාතික පක්ෂයෙන් හක්මන ආසනයේ අතුරු මැතිවරණය ජය ගැනීමත් සමග ය.

1987 දී පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූ මහින්ද යාපා අබේවර්ධන, එක්සත් ජාතික පක්ෂයෙන් බිඳී ඇරඹුණු නව පක්ෂයක් වූ ප්‍රජාත්නත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණට බැඳිණි.

යළිත් 2001 මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට පැමිණි ඔහු, 2020 වසර දක්වා වරින් වර අමාත්‍ය ධූර දැරීය.

ඔහු කතානායක ධූරය දැරූ සමයේ විපක්ෂ දේශපාලන පක්ෂවල පමණක් නොව දේශපාලන විචාරකයින්ගේ ද විවේචනයට ලක්වූයේ, ආණ්ඩු පක්ෂය හෙබවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පක්ෂපාතී ලෙස ක්‍රියා කළ බවට ය.

ඒ අනුව, කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 45 දෙනෙකුගේ අත්සනින් ඔහුට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය 2024 මාර්තු 19,20 සහ 21 යන දිනවලදී පැවැත්විණි.

එම යෝජනාව වැඩි ඡන්ද 42කින් පරාජය විය.

දැඩි දෝෂදර්ශනයකට ලක්වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත සම්මත වූයේ ද, ඔහු කතානායක ධූරය දැරූ කාලසීමාව තුළදී ය.

ශ්‍රී ලංකාවේ පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ජනාධිපති ධූරයට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසීමක් පැවැත්වූයේ ද, මහින්ද යාපා අබේවර්ධන කතානායක ධූරය දරද්දී ය.

ජනතා විරෝධය හමුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කිරීම සඳහා ඡන්ද විමසීම පැවැත්වූයේ, 2020 ජූලි මස 20 වන දා ය.

කතානායක ධූරය

ශ්‍රී ලංකාවේ තුන් වන පුරවැසියා ලෙස සැලකෙන්නේ, කතානායකවරයා ය.

ඒ අනුව, ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයාට පසුව වැඩි ම පිළිගැනීමක් ඇති රාජ්‍ය නිලධාරියා වන්නේ, කතානායකවරයා ය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *