Latestදේශීය

තවත් සුඛෝපභෝගී මෝටර් රථයක් අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳට අයත් නිවසක තිබී ලියාපදිංචි අංක තහඩු නොමැති මෝටර් රථයක් ඊයේ (26) සොයා ගැණුනි.  

හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සහ බිරිඳ පොලීසියට සාක්ෂි දී ඇත්තේ, අදාළ රථය නිවසේ ගරාජයට ගෙනැවිත් දැමුවේ මීට දින කිහිපයකට පෙර මියගිය සිය පෞද්ගලික ලේකම්වරයා බවය.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ඇති බවට පොලිස් මූලස්ථානයට තොරතුරක් ලැබී තිබුණි. 

ඒ අනුව මිරිහාන පොලීසිය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර අදාළ නිවසට ගොස් එම රථය පරීක්ෂා කරනු ලැබීය. 

ඒ පිළිබඳව හිටපු අමාත්‍යවරයාගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් පොලීසිය ප්‍රකාශයක්ද ලබාගෙන තිබේ.  

ඊට අනුව හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ මව අදාළ නිවසේ පදිංචිව සිටින අතර මීට දින කිහිපයකට පෙර මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්වූ රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා සති 3කට පෙර අදාළ රථය සිය නිවෙසේ ගරාජයට ගෙනවිත් දැමූ බව ඔවුන් ලබාදුන් ප්‍රකාශයේ සඳහන්ය. 

ලියාපදිංචි අංක තහඩු සහ යතුරු නොමැති සුඛෝපභෝගී මෝටර් රථය මහත් පරිශ්‍රමයක් යොදා ඊයේ මිරිහාන පොලීසිය වෙත රැගෙන ගියේය. 

අද (27) දිනයේ රජයේ රස පරීක්ෂකවරයා විසින් අදාළ රථය පරීක්ෂා කිරීමට නියමිත අතර ඉන් පසුව ඉදිරි විමර්ශන සිදුකරන බව පොලීසිය ප්‍රකාශ කළේය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *