ආරුගම්බේ පිදුරුගස සහ ඇල්පිටිය සැඩපහර
(ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර)
ආරුගම්බේ සංචාරක කලාපයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරක් පළමු වරට ඉන්දීය ඔත්තු සේවා විසින් මෙරට රාජ්‍ය බුද්ධි සේවයට ලබාදී තිබුණේ ගෙවුණු ඔක්තෝබර් 07 වැනිදාය. එම බුද්ධි තොරතුර අමෙරිකානු තානාපති කාර්යාලයට ලබාදුන්නේ කවුරුන් විසින්ද? ඒ කවදාදැයි අප දන්නේ නැත. එසේ වුවද, අමෙරිකානු තානාපති කාර්යාලය විසින් මෙරට වෙසෙන හා සංචාරයේ නිරත අමෙරිකානු වැසියන් වෙනුවෙන් ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ ඉකුත් 23 වැනිදාය. එනම් බුද්ධි තොරතුර නිල වශයෙන් මෙරටට ලැබී දින 16කට පසුවය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පදවිප්‍රාප්තියේ දිවුරුම් දී හරියටම මාසයක් සම්පූර්ණ වූ දවසේය. අලුත් ජනාධිපතිවරයා යටතේ තාවකාලික ආණ්ඩුව ආරක්ෂක මණ්ඩලය කැඳවා ගත යුතු ක්‍රියාමාර්ග ගනු ලැබුවා මිස එය ප්‍රසිද්ධ මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමට කටයුතු කළේ නැත. ජනාධිපති සහෝදරයාගේ වචනයෙන්ම කිවහොත් සංසිද්ධිය මෙසේය.
“ මීට සති දෙකකට පමණ පෙර අපිට වාර්තා වුණා, ලෝකයේ ඇති වී තිබෙන යුද ගැටුමට සම්බන්ධ දෙයක් ශ්‍රී ලංකාවෙත් සිදුවිය හැකියි කියලා. අපි අදාළ ස්ථානවල වේගයෙන් ආරක්ෂාව තහවුරු කළා. බුද්ධි අංශ තොරතුරු එනකොට අපි මාධ්‍ය සාකච්ඡා තිබ්බෙ නෑ. බුද්ධි අංශ තොරතුරු එනකොට අපේ වගකීම තමයි, ඒ වාර්තාවලට අනුරූපව කටයුතු කරන එක. අපේ වගකීම තමයි පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම. අදාළ ප්‍රදේශවල ආරක්ෂාව අපි වේගයෙන් තහවුරු කළා. බුද්ධි අංශ තොරතුරු මත වේගයෙන් පරීක්ෂණ දියත් කළා. සැකයට තුඩු දුන් කීපදෙනෙක් අපි අත්අඩංගුවට ගත්තා. නමුත් ප්‍රවෘත්ති පළවුණේ නෑ. අපි මාධ්‍ය සාකච්ඡා තිබ්බෙ නෑ. අපේ වගකීම මොකක්ද?. මොකක් හරි සිදුවීමක් වෙන්න යනවා නම්, ඒ සිදුවීම වැළැක්වීම තමයි ආණ්ඩුවක් විදිහට අපේ වගකීම. හැබැයි වෙනදා මොකක්ද වුණේ. ඒ බුද්ධි අංශ තොරතුරු සැලකිල්ලට ගත්තෙ නෑ. එක්කො ඒ තොරතුරුවලින් කලබලයක් නිර්මාණය කළා. අපි කලබල නොවී අවශ්‍ය සියලු වැඩ වේගයෙන් කළා. මතක තියාගන්න, අන්න ඒවට තමයි ආණ්ඩු කියන්නෙ.’
ජනාධිපති එසේ සඳහන් කළද, අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ග ක්ෂණිකව ගනු ලැබුවද, විපක්ෂයට තල්ලුවී එතැනින් ගෙදරටම තල්ලුවී යාමට නියමිත දේශපාලන අනාථයින්ට එයින් සෑහීමට පත්විය නොහැකිය. ‘මළගෙදරක මඟුල් කාඩ් බෙදන්නා සේ’ පාස්කු ප්‍රහාරය සිදුවුණු දිනයේම තමන් එළඹෙන ජනාධිපතිවරණයට තරග කරන බවට හිටපු ජනාධිපතිවරයෙකුට කියන්නට හැකියාව ලැබුණේ, ‘ජාතික ආරක්ෂාව’ට මුවාවෙමිනි. තුවක්කුව බැන්ද කෙනා නොදන්නවා වුවද, දඩයම කර තියාගෙන රට වටා යන විට එහි ඇත්තේ කුමන සම්බන්ධයක් දැයි දැන ගැනීමට අටුවාටිකා වුවමනා නොවේ. මේ අයුරින්ම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනය ඇතුළු විමර්ශන 5ක් තිබියදී, මහමැතිවරණය ඉලක්ක කරගනිමින් විෂමාචාර චෝදනා ලැබ කලක් වැඩ තහනමට ලක්ව සිටි විශ්‍රාමික විනිසුරුවරියක ලවා තවත් හදිසි වාර්තාවක් කැඳවන්නේ කුමකට දැයි කුඩා දරුවෙකුට වුවද, වැටහෙනු නොඅනුමානය. ඉක්බිතිව එකී හදිසි වාර්තාව කර තියාගෙන යන්නන්ද, දඩයම කර තියාගෙන ගියවුන්ද, එකම කණ්ඩායමක් වීම අහම්බයක් නොවන බැව් පැහැදිලිව පෙනෙන්නට තිබේ. අනෙක් අතට ආරුගම්බේ පිළිබඳ වූ තොරතුර ප්‍රසිද්ධියට පත්වූ වහාම එයද, තමන්ගේ කරමතට ගැනීමට මොවුන් යුහුසුලුවීම අහිංසක ක්‍රියාවක් නොවේ. ‘මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න ඉවත් කරන්නේ නැද්ද? “හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලෙයි ආයෙ ගෙන්වනවද?” වැනි ප්‍රශ්න කරළියට ආවේ ඒ නිසාය. එහෙත් ඒ සියලු කරුණු කාරණාවන් පසෙක තිබියදී, ආරුගම්බේ සිද්ධිය බරපතළ අතුරු ප්‍රශ්න රාශියක් ජනිත කරනු ලබන බව අප නොතකා නොහළ යුතුය.
ආරුගම්බේට එල්ලවීමට නියමිතව තිබූ මෙම ප්‍රහාරය දියත් කරනු ලබන්නේ ගාසා තීරයෙහි ඊශ්‍රායලය විසින් කර ගෙන යනු ලබන යුද්ධයට එරෙහිව බව කියනු ලැබිණි. එම යුද්ධයට මේවන විට වසරකට වැඩි කාලයක් ගෙවී ඇති නමුත් පෙර කිසිදු අන් රටක මෙවැනි ප්‍රහාරයක් සිදුව නැත. එසේ තිබියදී හදිසියේම මෙවැනි ප්‍රහාරයක් ශ්‍රී ලංකාවෙහි දියත් කිරීමට සැලසුම්කරුවන් උත්සුක වන්නේ මන්ද? ඊශ්‍රායල්වරුන් ඉලක්ක කරගන්නේ නම් ඔවුන්ගේ දේවස්ථානයක් හා සර්ෆිං ක්‍රීඩාවට සුදුසු මුහුදු තීරයක්වීම යන සාධක පමණක් පැවතීම තීරණාත්මක විය හැකිද? මන්ද යත් ඉන්දියාවෙහි ගෝව නගරය යනු ආරුගම්බේ ප්‍රදේශයට වඩා ඉතා විශාල ඊශ්‍රායල ජාතික කොලනියක් පවා තිබීම සැලසුම්කරුවන් නොදන්නවා විය නොහැකිය.
මෙම තොරතුරු ලබා දී ඇත්තේ ඉන්දීය රෝ සංවිධානය විසිනි. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ ඉන්දීය රෝ ඔත්තු සේවයේ සමීප හිතවතෙකි. රාජ්‍ය බුද්ධි සේවයෙහි තවමත් සලේගේ හිතවත්තු සේවය කරන බැවින් එහෙන් මෙහෙටද, මෙහෙන් එහෙටද, බලපෑම් සිදුනොවිය හැකි යයි ඉඳුරාම පැවසිය හැකි නොවේ. ඉන්දියාවෙන් ලැබුණු එම බුද්ධි තොරතුර මත ගෙන තිබුණු යම් යම් ක්‍රියා මාර්ග පිළිබඳ අමෙරිකානු ඔත්තු සේවා නොදැන සිටියා යයි කිව හැකිද? අනෙක් අතට ආණ්ඩුවේ අදාළ අංශ වෙතින් නොවිමසා ඇමෙරිකානු තානාපති කාර්යාලය සංචාරක තහනමක් ප්‍රකාශයට පත් කළේ ඇයි? මෙම තර්ජනය ඇත්තේ ඊශ්‍රායල් යුදෙව් ජාතිකයිනට පමණක් බව කියා තිබියදී, බටහිර රටවල් සිය රටවල ජනයාට වහාම එවැනි තහනම් පැනවූයේ ඇයි?
එවැනි අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කළ විට එම රටවලින් පැමිණෙන සංචාරකයින්ට සංචාරක රක්ෂණ ප්‍රතිලාභ නොලැබේ. දැනටමත් වාර්තාවන්නේ මෙරට පැවැත්වීමට නියමිත අන්තර් ජාතික සමුළුවක් සඳහා සහභාගි වීමට නියමිත වූ යම් යම් පිරිස් කොළඹට පවා නොපැමිණෙන බවයි. අනෙක් අතට මෙම බුද්ධි තොරතුර ලබා දුන් ඉන්දියාව, ස්වකීය සංචාරකයින්ට ශ්‍රී ලංකාව තහනම් කලාපයක් ලෙස නම් නොකළේ ඇයි? මෙම ප්‍රහාරය එල්ල කිරීම සැලසුම් කරන බවට ඉන්දීය රෝ සංවිධානය දැනුම් දුන් පුද්ගලයින් අත්අඩංගුවට ගත් නමුත් එම පුද්ගලයින් එවැනි ක්‍රියාවකට සූදානම් වූ බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවද, අවධාරණය කළ යුතුය.
වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීම පිළිබඳ සතුටු නොවන කණ්ඩායමක් විසින් මෙම කතාන්දරය නිර්මාණය කරන ලද්දේද? එමගින් ආණ්ඩුවේ ආදායම් අපේක්ෂා කරන ප්‍රමුඛතම ක්ෂේත්‍රයක් වන සංචාරක කර්මාන්තය කඩාකප්පල් කිරීම මෙම තොරතුර පිටුපස පවත්නා අරමුණක් විය නොහැකිද? සුරේෂ් සලේ සහ නිලන්ත ජයවර්ධන වැනි පාස්කු ප්‍රහාරයේ චූදිතයින් ඔවුන් දැරූ තනතුරුවලින් ඉවත් කිරීම නිසා මෙවැනි තත්ත්වයක් ඇති වූ බව කියා සිටින්නට ඉක්මන් වූවන්, ‘දඩයම කර තියාගෙන ගියා සේම‘ ‘පණිවිඩය’ කර තියාගෙන ගියා විය නොහැකිද? මේ සියලුදෙනා එකම දැවැන්ත ව්‍යාපෘතියක කුඩා කුඩා ඉත්තන් විය නොහැකිද? මෙම සියලු කරුණු කාරණා කෙරෙහි අවධානය යොමුවිය යුතුමය.
මෙවැනි පසුබිමක වුවද, ‘ජාතික ආරක්ෂාව අනතුරේ’ බවට හුවා දක්වමින් ආරුගම්බෙ පෙන්වා ගොඩයන්නට මාන බලන, පොල් ගෙඩියේ බිත්තරයේ මිල ගැන මොහොතින් මොහොත පුවත් යාවත් කාලීන කරන, දේශපාලන අනාථයින්ට ඇල්පිටිය ඡන්දයෙන් එල්ල වූයේ දැවැන්ත කනේ පහරකි. හැඟීම් අවුළුවාලනසුලු කතාවලට, බිත්තරයට හෝ පොල් ගෙඩියට එහා ගිය ලෝකයක් ගැන තමන්ට බලාපොරොත්තුවක් ඇති බවත්, එකී බලාපොරොත්තුව වෙනුවෙන් අද දවසේ හුස්ම ගන්නා බවත් ඔවුන් තහවුරු කරනු ලැබිණි.
“ඊශ්‍රායලය විසින් ක්ෂිතිජමය අත්දැකීමක් යුදමය අවියක් බවට පත් කරන්නේ කොහොමද?” යන මැයෙන් බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ දේශගුණ යුක්තිය සඳහා වූ කේන්ද්‍රයේ ආරම්භක සම අධ්‍යක්ෂවරියක මෙන්ම විශිෂ්ට පර්යේෂිකාවක වන නයෝමි ක්ලෙයින් මෑතකදී ‘ද ගාඩියන්’ පුවත්පතට ලියූ ලිපියක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නඟන ප්‍රශ්නයකට දෙන පිළිතුර පහත පරිදිය.
“මම කලිනුත් ලියල තිබෙනවා, විශාල කම්පන තත්ත්වයක් (states of shock) කොහොමද පෙර පවතින න්‍යාය පත්‍රයක් ඉදිරියට ගෙන ඒමට කපටිසහගත ලෙස භාවිත කරන්නේ කියලා. මම හිතනවා මේකම තමා අප අද දකිමින් සිටින්නේ කියලා. නමුත් මෙම ක්‍රියාවලිය සඳහා මෙම කම්පන තත්ත්වය දිගටම පවත්වා ගත යුතුයි. මතු කර පෙන්විය යුතුයි. කිසිම ආකාරයකට යථා තත්ත්වයක් පැමිණීමක් තිබිය නොහැකියි. මේ සඳහා ඊශ්‍රායල් සමාජය නැවත නැවත කම්පනයට පත්කළ යුතුයි සහ මෙවැනි ක්ෂිතිජමය ගැටයක් තුළ තබා ගත යුතුයි.”
මෙය ශ්‍රී ලංකාවටද අදාළය. හිටපු පාලකයින් මෙන්ම ඔවුන්ගේ හෙංචයියන්ද, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැනි කම්පන සිදුවීම් තවදුරටත් අපේක්ෂා කරයි. එවැන්නක් සිදු නොවන්නේ නම් එය සිදුවන බවට මවා පායි. එකී උත්සාහය නොනවත්වාම සිදුවෙයි. එහෙත් අනෙක් පස ඇත්තේ සාමකාමී, ප්‍රජාතන්ත්‍රීය අවකාශය පුළුල් කර ගනිමින් ජනතා කැමැත්ත මත ප්‍රජාතන්ත්‍රීය ලෙස කරන මැදිහත්වීමක් මගින් වඩා සුවදායි හෙට දවසක් නිර්මාණය කර ගැනීමේ අභිලාෂයට පණ පොවන මාවතයි. පළමුවැන්න ආරුගම්බේ සංසිද්ධියද, දෙවැන්න ඇල්පිටිය පුංචි ඡන්දය ද නියෝජනය කරයි. හෙට දවසේත් ආයාසයෙන් වුව අප බර තැබිය යුත්තේ සුවදායි හෙටක් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රීය අවකාශය වඩ වඩාත් පුළුල් කරන ඇල්පිටිය මාවත දිගේමය.
@දිනමිණ