Latestදේශීය

දකුණු අප්‍රිකාණු සූකර උණ ප්‍රථම වරට ලංකාවෙන් මතුවෙයි

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය බවට තහවුරු වී ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ක්ෂේත්‍රයෙන් ලබාගන්නා ලද නව සාම්පල පරීක්ෂා කිරීමේ දී සාම්පල කිහිපයකින් ඒ බව තහවුරු වී ඇති බවද පවසයි.
ඒ අනුව ඌරු මස් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතර ප්‍රවාහනය සිදුකරන්නේ නම් ඊට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය අනිවාර්ය කර තිබේ.

පසුගිය කාල සීමාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඌරන් හදිසියේ මියයාමේ සිදුවීම් වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂාවක් සිදුකරනු ලැබීය.

එම පරීක්ෂාවට අනුව ඌරන්ට වැළඳී ඇති අදාළ රෝගී තත්ත්වය දකුණු ආසියානු රටවල ද මෑතකදී වාර්තා වූ අප්‍රිකානු සූකර උණ රෝගී තත්ත්වය බවට අනාවරණය වී තිබේ.

මෙම රෝග තත්ත්වය ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙයවේ. අධිව්‍යාධිජනක මෙම රෝගය රටේ සෙසු ප්‍රදේශවලට පැතිර යාම වැළැක්වීම සඳහා අදාළ ප්‍රදේශවල පශු වෛද්‍ය නිලධාරීන් වෙත බලය පැවරීමට කටයුතු කර ඇති බව ද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යංශය සඳහන් කරයි.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *