“සහෝදරයා” වෙනුවට “එතුමා” ආදේශ වීම සහ මන්ත්‍රී හාමුදුරුවෝ සැතපීම
විජිත හේරත් විසින් ජනාධිපති තුමා, එතුමා, එතුමාගේ අත්සන වැනි වචන භාවිතා කරමින් ජනාධිපතිවරයා පිළිබඳව උච්ඡාරණය කරනු පෙනේ.
‘comrade’ යන යෙදුම ලංකාවේ වාමාංශික පක්ෂ වල සිංහලෙන් ‘සහෝදරයා’ ලෙස ව්‍යවහාර වේ. නමුත් සැබවින්ම එහි අර්ථය විය යුත්තේ ‘සගයා’ (සටන් සගයා) යන්නයි. එකල වාමාංශික දේශපාලනයට එරෙහි වූ අය ‘සහෝදරයා’ යන යෙදුම ප්‍රශ්න කරමින් විමසා සිටියේ “ඒ අයට අම්මලා-තාත්තලා, නැන්දලා-මාමලා, පුංචි අම්මලා-බාප්පලා හෝ ආච්චිලා-සීයලා නොමැති බවත්, සියලු දෙනා සහෝදරයින් බවත්ය. එය එසේ ප්‍රශ්න කල හැකි වූයේ සිංහල සංස්කෘතිය තුල සංකේතීය නීතීන්ට අදාළ ඥාතිත්වයේ යෙදුමක් වෙනත් සන්ධර්භයක (ආගන්තුක වාමාංශික දේශපාලනය තුල) යොදාගැනීම නිසාය.
රුසියානු සමාජවාදය තුල කොම්යුනිස්ට් පක්ෂයේ සියලු දෙනා එකිනෙකා ආමන්ත්‍රණය කිරීමේදී Tovarishch (comrade) යන වචනය නමට මුලින් භාවිතා කරන ලදී. එකල දී එසේ භාවිතා කිරීම (comrade ලෙස හෝ ලංකාවේදී නම් ‘සහෝදරයා’ ලෙස) සඳහා අර්ථය පැමිණියේ පැවැති ප්‍රභූ දේශපාලන සංධර්භය තුල දූරාවලි සහගත ප්රභූත්වයන්ට එරෙහිව සමානාත්මතාවය ඉස්මතු කිරීමක් ලෙස සහ සම සමාජයක් සඳහා වන අපේක්ෂාව තුලය. ;
එබැවින් අර්ථය පිළිබඳව ප්‍රශ්න කෙසේ වෙතත් එකල ලංකාවේ වාමාංශික දේශපාලනය තුල ‘සහෝදරයා’ ලෙස ඇමතීම පැවති ප්‍රභූත්වයට එරෙහිව සහ පන්ති රහිත සමානාත්මතාවය සඳහා වන සටන්කාමී අර්ථයක් ජනිත කරන ලදී. නමුත් අද සන්ධර්භයන් වෙනස්ව ඇත. එම සන්ධර්භීය වෙනස තුල අද වාමාංශික පක්ෂ වල ‘සහෝදරයා’ යන්න සඳහා වන අර්ථය ‘මහත්තයා’ යන්නට සමාන අර්ථයක් තුල ව්‍යවහාර වේ. එනම්, වාමාංශික පක්ෂයක නායකයෙකු හට ඔහුගේ නමින් ඇමතීම විසින් හිත් රිදවීමකට ලක්වීම හෝ කුපිත වීමට හේතුවක් විය හැකි අතර නම අගට ‘සහෝදරයා’ ලෙස යෙදීම විසින් එවැනි තත්වයක් ඇති නොකරනු ඇත.
ඉහත විස්තර කල සියල්ල නොසලකා හරිමින් වුව ද අප හට විමසිය හැක්කේ තම පක්ෂයේ සාමාජිකයින් අනුර කුමාර අමතන විට අඩු තරමින් ‘ජනාධිපති සහෝදරයා’ යනුවෙන් හෝ ඇමතිය නොහැක්කේ ඇයි ද යන්නයි. ඉතා අප්‍රිය සහගත ‘එතුමා’, ‘මෙතුමා’, ‘මැතිනිය’ වැනි උච්ඡාරණයන් විසින් හඟවනුයේ කුමක් ද? ජවිපෙට ද අවශ්‍ය වී ඇත්තේ අලුත් අර්ථකතනයක් තුල නව ප්‍රභූත්වයක් නඩත්තු කිරීමට ද?
බී වයි තුඩාවේ යනු කොම්යුනිස්ට් පක්ෂයේ සිටි ප්‍රසිද්ධ චරිතයකි. ඔහු වෘත්තියෙන් ගුරුවරයෙකු විය. පසුව ඔහු 1970 සමගි පෙරමුණු ආණ්ඩුවේ අධ්‍යාපන උප ඇමතිවරයා බවට පත්විය. එසේ පත් වී ටික දිනකින් එම පක්ෂයේ සරත් මුත්තෙට්ටුවේගම ඔහු හමුවීම සඳහා මාතර තුඩාවේ පිහිටි බී. වයි. තුඩාවේගේ නිවසට ගොස් තුඩාවේ සහෝදරයා සිටින්නේදැයි ඔහුගේ බිරිදගෙන් විමසා ඇත.
පැමිණ සිටින්නේ කවුරුන්දැයි නොදත් තුඩාවේ බිරිඳ ඉතා නොරුස්සන ස්වභාවයකින් පිළිතුරු ලබා දී ඇත්තේ “මන්ත්‍රී හාමුදුරුවෝ සැතපෙනවා” යනුවෙනි. එහෙනම් බුදු හාමුදුරු කෙනෙක් ඇවිත් ගියා කියන්න යැයි පවසමින් මුත්තෙට්ටුවේගම පිටව ගොස් ඇත.
@ස්පාර්ටකස් ලිපි