කමිඳු මෙන්ඩිස් ලෝකෙන්ම එක
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉහළම පිතිකරණ සාමාන්‍ය හිමි පිතිකරු බවට කමිඳු මෙන්ඩිස් පත්ව තිබේ.
ඒ අනුව, 94.3ක ඉහළම ලකුණු සාමාන්‍ය වාර්තා කරමින් කමිඳු මෙන්ඩිස් ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලොව ප්රමුඛ ටෙස්ට් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත. එහි දෙවන ස්ථානයේ පසුවන්නේ 59.65 සාමාන්‍යයක් හිමිකර ගෙන සිටින ඉන්දියාවේ යසස්වි ජයිශ්වාල් ය.
සල්මන් අගා, ජෝ රූට්, රචීන් රවීන්ද්‍ර පිළිවෙලින් තුන්වන, සිව්වන සහ පස්වන ස්ථාන හිමිකර ගෙන තිබේ. ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව පළමු සහ දෙවන ස්ථාන හිමිකර ගෙන ඇති අතර, ශ්‍රී ලංකව, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව ද පළමු ස්ථාන දෙක සඳහා තරග කරන කණ්ඩායම් අතර පෙරමුණ ගෙන සිටියි.
2022 වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් වරම් හිමිකර ගත්ත ද, එම තරගයෙන් පසු ආපසු කැඳවීමක් නොලද කමිඳු මෙන්ඩිස් වසර දෙකකට පසු ලෝකයේ ම අවධානය දිනා ගැනීමට සමත් විය. ජාත්‍යන්තර තරගවලට පිවිසීමට පෙර සිටම ඔහු ක්‍රිකට් ලෝලීන්ගේ අවධානයට ලක්වූයේ, අත් දෙකෙන් ම පන්දු යවන ‘අමුතු පන්දු යවන්නෙකු‘ වූ හෙයිනි. 2022 වසරේ ජූලි 8 වැනිදා සිට 11 වැනිදා තෙක් ඔස්ට්‍රේලියාව සමග ගාල්ලේදී පැවති මෙම ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා ඉනිමක සහ ලකුණු 39ක ජයක් හිමිකර ගත් අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දුන් ඉනිමේදී පස් වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස් ලකුණු 61ක් රැස් කිරීමට සමත් විය.
කමිඳු මෙන්ඩිස් වසර 147ක් පැරණි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ පිතිකරුවන් කිසිවකු මෙතෙක් පිහිටුවා නොතිබූ වාර්තාවක් පිහිටුවීමට සමත් විය. එම වාර්තාව වූයේ, 7 වන හෝ ඊට පහළින් පිටියට පිවිස ටෙස්ට් තරගයක ඉනිම දෙකේදී ම ශතක රැස් කළ පළමු පිතිකරුවා බවට පත්වීම ය.
කමිඳු දිලංක මෙන්ඩිස් හෙවත් කමිඳු මෙන්ඩිස් ගාල්ලේදී උපත ලැබුවේ, 1998 වසරේ සැප්තැම්බර් 30 වැනිදා ය. ඔහුගේ වයස තවමත් අවුරුදු 25කි.
ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර, ඔහු ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළේ, එම විද්‍යාලයෙනි. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ ඔහු, වමත් පිතිකරුවකු වන අතර, දෑතින් ම දඟ පන්දු යැවිය හැකි සුවිශේෂී ක්‍රීඩකයෙකි.
@BBC Sinhala