Latestදේශීය

කෙම්පිටිය වලව්වේ හිමිකරුගේ අභිරහස් මරණය

කෑගල්ල, බුළුරුප්ප, කෙම්පිටිය වලව්වේ හිමිකරු වන ක්‍රිෂාන්ත පුලස්ති මාරපන නැමැත්තාව ඔහුගේ වලව්ව තුළ ඇති නිදි ඇඳමත ඝාතනය කර තිබියදී පසුගිය දා (28)  පෙරවරුවේ සොයාගැනුණි.

ඒවන විටත් ඔහුගේ දෙපා සහ දෙඅත් ගැටගසා, කට සෙලෝටේප්වලින් ඔතා තිබූ බව පැවසෙයි.

ඔහුගේ සිරුර සොයාගනු ලැබුවේ, නිවසේ සේවය කරන පුද්ගලයාගේ පුත්‍රයා විසිනි.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරියගේ ද කට සෙලෝටේප්වලින් ඔතා ඇඳ අසල බිම සිටියදී එම පුද්ගලයා විසින් සොයාගෙන තිබේ.

අනතුරුව පොලීසියට මේ බව දැනුම්දීමෙන් අනතුරුව පැමිණි විමර්ශන නිලධාරීන් අදාළ කාන්තාව රෝහල්ගත කර ඇත. 

අදාළ වලව්වේ කාමරවල තිබූ අල්මාරි සියල්ල විවෘත කර ඒවායේ තිබූ භාණ්ඩ ඇද දමා තිබූ අයුරු දැකගත හැකි විය. 

මෙම ඝාතනය සඳහා කොතරම් පිරිසක් පැමිණිය ද යන්න පිළිබඳව සහ නිවසේ තිබූ කුමක් පැහැරගෙන ගියේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැත.

ඊට හේතුවී ඇත්තේ මෙම සිදුවීමත් සමග අසනීප තත්ත්වයේ සිටි අදාළ පුද්ගලයාගේ වයෝවෘද්ධ බිරිය සිහිමද තත්ත්වයට පත්වීම ය.

නිවසේ තිබූ මෝටර් රථය ද පැහැරගෙන ගොස් ඇති අතර පසුව එය නිවසට කිලෝමීටර 4ක පමණ දුරින් දමාගොස් තිබියදී පොලීසිය ඊයේ පස්වරුවේ සොයාගෙන තිබේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා විශ්‍රාමික ගුරුවරයෙකු වන අතර ඔහු කෑගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි.

සමාජ සේවකයෙකු ලෙස ප්‍රදේශයට සේවය කර ඇති ඔහු මන්ත්‍රී වැටුපද ලබාගෙන නොමැත.

දෙදරු පියෙකු වන ඔහුගේ පුත්‍රයා ඔස්ට්‍රේලියාවේ ජීවත්වන අතර දියණිය මීට පෙර මියගොස් ඇත.

මෙම ඝාතනයට හේතුව කුමක් ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කෑගල්ල පොලීසිය සිදුකරයි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *