Latestදේශීය

කිසිදු පාර්ෂවයක් සමග විශේෂ බැදීමක් නැහැ – ජනපති

රට ගොඩනැඟීමේ සහ ආර්ථික සංවර්ධනය කිරීමේදී තමන්ට හෝ වත්මන් ආණ්ඩුවට කිසිඳු පාර්ශ්වයක් සමඟ විශේෂ බැඳීමක් නොමැති බැවින් ගත යුතු සෑම තීන්දුවක්ම නොපැකිළව ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ, ශ්‍රී ලංකා බැංකු සංගමයේ සාමාජිකයින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (29) හමු වූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සම්බන්ධයෙන් බැංකුවලින් සිදු වන මැදිහත් වීම සහ ඔවුන්ගේ ගැටලු පිළිබඳවද මෙහිදී අවධානයට යොමු වී තිබේ.

ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයෙහි වැදගත්කම සහ විද්‍යුත් හැඳුනුම්පත ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ අතර එම වැඩපිළිවෙළ වසර එක හමාරක් වැනි කෙටි කාලයක් තුළ නිම කිරීමට කටයුතු කරන බව ජනාධිපති ප්‍රකාශ ඇත.

පැන නැගුණු ආර්ථික අර්බුදය සමඟ බැංකු පද්ධතිය යම් දරා ගැනීමක් සිදු කරමින් ව්‍යවසායකයා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපතිවරයා ව්‍යවසායකයින් එම දරා ගැනීම අවභාවිත කරන්නේ නම් එය ගැටලුවක් බව සඳහන් කළේය. බැංකුවත්, ව්‍යවසායකයාත් ආරක්ෂා වන පරිදි සමස්ත ක්‍රියාවලිය සිදු කළ යුතු බවට මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ අවිධිමත් අංශය විශාල වන අතර එය විධිමත් කිරීමේදී දැනට අවිධිමත් ආර්ථිකය තුළ යැපෙන ජනතාව සුරක්ෂිත වන ආකාරයට එම ක්‍රියාවලිය සිදු කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ දැනට පවතින දුෂ්කරතා, ව්‍යාපෘති සඳහා ගත වන කාලය වැඩි වීම, දූෂණය ආදි කරුණු හේතුවෙන් ආයෝජන පවත්වා ගෙන යාමට තිබෙන බාධා පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

මෙම ක්‍රියාවලියේදී සියලු කටයුතු සරල හා අදූෂිත, කාර්යක්ෂම ක්‍රමවේදයක් තුළට ගෙන ඒමට තම රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති මෙහිදී අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකා බැංකු සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී බිංගුමාල් තෙවරතන්ත්‍රි, කොමර්ෂල් බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරි සනත් මනතුංග, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ගුණතිලක, සම්පත් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී අයෝධ්‍යා ඉද්දවෙල, හැටන් නැෂනල් බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත, සෙලාන් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර, NDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී කැලුම් එදිරිසිංහ, Deutsche බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී නිරංජන් ෆිගුරාඩො, ඉන්ද්‍රජිත් බෝයගොඩ (SLBA) යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *