Latestදේශීය

නීතිය තදයි, අංක 5 අනිවාර්යයි – උපුල් රෝහණ

නිතර නිතර භාවිතය සඳහා පාසල් දරුවන් ඇතුළු මහජනතාව භාවිතා කරන ප්ලාස්ටික් බෝතල් සහ ආහාර ඇසුරුම් පෙට්ටි මිලදී ගැනීමේදී එම ප්ලාස්ටික් නිෂ්පාදනවල ආරක්ෂිත සලකුණ පිළිබඳ අවධානය යොමු කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි. එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ පතුල මත අංක 05 හෝ වීදුරුවක් සමග ගෑරුප්පුවක් සලකුණු කර ඇති ආරක්ෂිත සංකේතය සඳහන් ප්ලාස්ටික් උපකරණ පමණක් නැවත නැවත භාවිතය සඳහා සුදුසු බවයි. එම ආරක්ෂිත අංකය වන අංක 5 හෝ ආරක්ෂිත සලකුණ සඳහන් කර නොමැති ප්ලාස්ටික් වතුර බෝතල් සහ ආහාර ඇසුරුම් පෙට්ටි අලෙවි කරන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අවධාරණය කරන ලදී. දරුවන්ගේ ආහාර ඇසුරුම්වල සුරක්ෂිතතාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා සංවිධානය කරන ලද මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ උපුල් රෝහණ මහතා මෙසේ සඳහන් කරන ලදී.

දරුවන් සඳහා භාවිතයට වෙළෙඳපොළේ තිබෙන ප්ලාස්ටික් වතුර බෝතල් සහ කෑම පෙට්ටි බහුතරයක් නිපදවලා තිබෙන්නේ අනාරක්ෂිත ප්ලාස්ටික්වලින් බව වෙළෙඳපොළ නිරීක්ෂණවලදී අපට තහවුරු වුණා. භයානකම තත්ත්වය තමයි මේවායේ බිස්ෆීනෝල් වැනි පිළිකාකාරක අඩංගු වෙන්න පුළුවන්. එවැනි අනාරක්ෂිත ප්ලාස්ටික් උපකරණ ආහාරපාන සඳහා භාවිත කිරීම තුළින් දරුවන්ට පිළිකා වැලඳීමේ අවදානම මෙන්ම මඳසරුභාවය, ලිංගික දුබලතාවය වැනි ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත ව්‍යාකූලතා වගේම පියයුරු පිළිකා වැනි තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙනවා. මේක දරුවන්ගේ සෞඛ්‍ය සම්බන්ධය භයානක තත්ත්වයක්. ඒ නිසා අංක 5 සහ ආරක්ෂිත සලකුණ සඳහන් වතුර බෝතල් සහ කෑම පෙට්ටි පමණක් දරුවන් වෙනුවෙන් මිලදී ගන්න කියලා මම දෙමාපියන් ඇතුළු රටේ සමස්ත මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම ආරක්ෂිත අංකය සහ සලකුණු සඳහන් නොවන හෝ කිසිදු අංකයක් සඳහන් නොවන ප්ලාස්ටික් ආහාර ඇසුරුම් උපකරණ අලෙවිකරන ව්‍යාපාරිකයන්ට එරෙහිව ආහාර පනතට අනුව නඩු පැවරීමට කටයුතු කරනවා…

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරනු ලැබුවේ මේ පිළිබඳ වෙළෙඳපොළ නිරීක්ෂණ සහ වැටලීම් කටයුතු එළඹෙන සතියේ සිට ආරම්භ කරනු ලබන බවයි.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *