Latestදේශීය

ෆේස්බුක් බාල ක්‍රීම් ඉතා අවධානම්

සමාජ මාධ්‍යයෙන් ප්‍රචාරය කරන සමේ ගල්වන ආලේපන වර්ගවලට නොරැවටෙන ලෙසත්, සමේ ආලේපන භාවිත කිරීමේදී වෛද්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය ඊයේ (06) කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී මහජනතාවගෙන් ඉල්ලීමක් කළාය.

සමාජ මාධ්‍යයේ සංසරණය වන බොහෝ ආලේපන වර්ග සමේ ගැල්වීමෙන් විවිධ අසාත්මිකතාවලට ගොදුරුවූ පුද්ගලයන්ගේ වැඩිවීමක් දක්නට ඇතැයි ද ඇය කීවාය.

තවදුරටත් කතා කළ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය මෙසේද පැවසුවාය. විවධ චර්ම රෝග සඳහා නිසි වෛද්‍ය උපදේශයකින් තොරව විවිධ ඖෂධීය ආලේපන සහ අනුමැතියෙන් තොර දේශීය හා බටහිර ඖෂධ ආලේපන භාවිතයට බොහෝ අය පුරුදු වී සිටිනවා. සමේ දිලීර ආසාදන, කුරුලෑ සහ සමේ ඇතිවන කළු පැහැ වර්ණය සඳහා වෛද්‍ය උපදෙස්වලින් තොරව ආලේපන භාවිත කිරීම නිසා සමේ ආසාදනවලට ඇතිවන බලපෑම වැඩියි.

මෙහිදී කතා කළ බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීරවේදී දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය මෙසේ පැවසුවාය.

“නියපොතුවල, හිස්කබලේ සහ කෙස්වල දිලීර හැදෙන්න පුළුවන්. සමේ අළුහම් හැදෙනවා. ඇඟිලි කරු අතරේ සුදුවෙලා කසනවා. මේවා සම ආශ්‍රිතව හැදෙන දිලීර රෝග. මේවාට සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගෙන ඖෂධ ලබාගන්න. නියමිත ඖෂධය නිවැරදිව නොගත්තොත් ඒ දිලීරය ප්‍රතිවිරෝධී දක්වනවා.

“ෆාමසිවල ඉන්න ෆාමසිස්ට්ලාට රෝගියකු ඉල්ලන ඖෂධය දෙන්න බැහැ. වෛද්‍යවරයකු ලියා එවන තුණ්ඩුවට තමයි ඖෂධය දෙන්න පුළුවන්. සමහරු තමන්ගේ සමේ ඇති කැළලට බෙහෙතක් දෙන්න කිව්වම ෆාමසිස්ට් අදාළ ආලේපනය දෙනවා. මේක ඉතාම අවදානම්.

වෙළෙඳපොළේ තියෙන එක එක ක්‍රීම් වර්ග අරන් මුහුණේ, සමේ ගාන්න එපා. වෙළෙඳපොළ තුළ සම සුදුවෙන්න ගාන ක්‍රීම් කියලා ඉතා අඩුවට අලෙවි කරනවා නම් ඒවා ගාන්න එපා. ඒවා ප්‍රතික්ෂේප කරන්න. ඒ ගැන ජනතාව දැනුවත් කරන්න. මේ බාල ක්‍රීම් ගාලා තමන්ගේ මුහුණ, ශරීරය කැත කරගන්න එපා. ඒවායින් සමට වෙන හානිය ගැන වැඩියෙන් දැනුවත් කරන්න. මාධ්‍යයට පුළුවන් මේ ෆේස්බුක් හරහා බාල ක්‍රීම්වර්ගවලට අදාළ දැන්වීම් ප්‍රචාරය කරන එක කඩාගෙන යන්න.

මෙහිදී හෝමාගම මූලික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ගයනි මදරසිංහ මහත්මිය ද කතා කළාය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (වැඩ බලන) විශේෂඥ වෛද්‍ය අසන්ති ප්‍රනාන්දු මහත්මිය ද මෙම අවස්ථාවට එක්වූවාය.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *