රේගු නිළධාරින් 4කට වසර 35ක සිරදඬුවම්
ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අල්ලස් මුදල ලෙස සැලකෙන රුපියල් මිලියන 125ක අල්ලසක් ගැනීමේ සිද්ධියේ චුදිත රේගුවේ උසස් නිලධාරින් සිව්දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආචාර්ය නාමල් බණ්ඩාර බලල්ලේ මහතා ඊයේ (06) බරපතළ වැඩ සහිතව වසර 35ක සිරදඬුවමක් නියම කළේය.
අල්ලස් ලෙස ගත් රුපියල් මිලියන 125ක මුදලට සමාන මුදලක් එක් එක් විත්තිකරුවන්ට වෙන වෙනම දඩයක් ලෙස රජයට ගෙවීමට නියම විය.
ඒ අනුව නඩුවේ විත්තිකරුවන් සිව්දෙනාට රුපියල් මිලියන 500ක දඩයක් ගෙවීමට නියම විය.
එම දඩය නොගෙවන්නේ නම් අවුරුදු 2ක සිරදඬුවමක් අමතර පනවන ලදි. එකී දඩ මුදලට අතිරේකව එක් චෝදනාවකට රුපියල් 5,000 බැගින් චෝදනා 5 සඳහා රුපියල් 25,000ක අමතර දඩ මුදලක් නියම විය. එය නොගෙවන්නේ නම් එක් චෝදනාවකට මාස 3 බැගින් මාස 15ක සිරදඬුවමක් නියම විය. මේ අනුව දඩ මුදල් නොගෙවන්නේ නම් එක් එක් විත්තිකරු බන්ධනාගාරයේ ගත කළ යුතු මුළු කාලය වසර 38ක් හා මාස 3ක් වශයෙන් සිරදඬුවමක් නියම විය. මෙය අල්ලස් හෝ දූෂණ කොමිසම පිහිටුවීමෙන් පසු ගොනු කරන ලද නඩුවකට අධිකරණයක් මඟින් දෙන ලද ඉහළම දඩ මුදලය. මෙලෙස දඬුවම් නියම වූයේ ශ්‍රී ලංකා රේගුවේ හිටපු සහකාර රේගු අධිකාරීවරයකු වූ මල්දෙණියගේ දොන් උපාලි ගුණරත්න පෙරේරා හා හිටපු රේගු අධිකාරීවරුන් වන හේවා රාජගේ වසන්ත විමලවීර, උපාලි සෙනරත් වික්‍රමසිංහ, සුධීර පරාක්‍රම ජිනදාස යන තැනැත්තන්ටය. සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය රේගු අධිකාරීවරයකු වූ ජගත් ගුණතිලක යන අයට චෝදනා එල්ල වුවද නඩු පැවරීම සිදුවන විට ඔහු මියගොස් සිටින නිසා සැකකරුට විරුද්ධ චෝදනා පත්‍රයක් ඉදිරිපත් නොවීය.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව සනාථ කර ඇති බව දඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේය.
විත්තිකරුවන් වැරැදිකරුවන් කිරීමෙන් පසු දඬුවම් නියම කිරීමට පෙර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කරුණු දක්වමින් දැඩි දඬුවම් නියම කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. රටට ආදායම් හිමි වන ස්ථානය අතරින් රේගුව ප්‍රධාන මූලාශ්‍රයක් බවත් රේගු වංචා නිසා ජාතික ආදායමින් සැලකිය යුතු පංගුවක් රටට අහිමි වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කරුණු දක්වා සිටියේය. රජය මඟින් රේගු නිලධාරීන්ට සියයට 5ක ත්‍යාග මුදලක් පිරිනැමීමට අමතරව ඉහළ වැටුප් හා ප්‍රසාද දීමනා සපයන බව ද අධිකරණයට දැන්වීය. මේ ආකාරයේ වරප්‍රසාද භුක්ති විඳිමින් ජාතික ආදායම අහිමි කිරීම බරපතළ වරදක් බැවින් අනෙකුත් රජයේ සේවකයන්ට ද පණිවිඩයක් ලැබෙන ආකාරයට උපරිම අයුරින් දඬුවම් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
දීර්ඝ නඩු විභාගයකින් පසු මේ ආකාරයට දඬුවම් නියම වූයේ 2015 වසරේ සිදුවූ අල්ලස් සිද්ධියක විත්තිකරු වූ රේගුවේ උසස් නිලධාරීන් සිව්දෙනකුටය. රේගු විමර්ශනයක් වෙනස් කිරීම සඳහා විත්තිකරුවන් අල්ලස් ගැනීම කර තිබේ.
2015 වසරේදී ලංකා ගමනාගමන මණ්ඩලය බස් රථ අමතර කොටස් ආනයනය කර සැපයීම සඳහා ස්ටිල් ඉම්ෆෙක්ස් ඉන්දීය (පෞද්ගලික) සමාගම සමඟ ගිවිසුමක් ඇති කරගෙන තිබේ. මෙම ගනුදෙනුවේදී ඉන්දීය සමාගමේ දේශීය නියෝජිතයා ලෙස පංචිකාවත්තේ පිහිටි ස්ටිල් ඉම්ෆෙක්ස් ලංකා (පෞද්ගලික) සමාගම කටයුතු කර ඇත.
රජය මඟින් පිරිනමන බදු සහන යටතේ බස් රථ අමතර කොටස් ඉන්දීය සමාගමෙන් ආනයනය කර ලංගමට සැපයීමේ වගකීම දේශීය සමාගමට පැවරී ඇත.
මෙලෙස ආනයනය කරන අමතර කොටස් වෙළෙඳපොළේ අලෙවි කරන බවට දේශීය සමාගමට විරුද්ධව රේගුවට පැමිණිල්ලක් ලැබී තිබේ. මේ සම්බන්ධ රේගු විමර්ශන විත්තිකරුවන් විසින් කර ඇත. ඒ අනුව දේශීය සමාගම මෙරට වෙළෙඳපොළේ අලෙවි කර ඇති අමතර කොටස්වල වටිනාකම රුපියල් මිලියන 3,000ක් ලෙස ගණනය කිරීම සිදුව තිබේ. එහිදී අහිමිව ඇති රේගු ආදායම රුපියල් මිලියන 300ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
එම වටිනාකමින් රුපියල් මිලියන 150ක මුදලක් අල්ලසක් ගෙවන පොරොන්දුව මත එම පරීක්ෂණ ගොනුව නිරාකරණය කර දෙන බවට විත්තිකරුවන් ස්ටිල් එෆෙක්ස් ලංකා (පෞද්ගලික) සමාගමේ හිමිකාර ගල්හේනගේ බන්දුලසේන යන අයට දන්වා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබේ.
අල්ලස රුපියල් මිලියන 125 දක්වා අඩු කර රජයේ මුදල් මඟින් එය ගෙවන ලෙස කොමිසම ව්‍යපාරිකයාට දන්වා ඇත. සැලැස්මට අනුව කොමිසමේ නිලධාරියකු උපායදූතයකු ලෙස ව්‍යාපාරිකයා සමඟ වැටලීමට යොමු කර තිබේ. ගනුදෙනු අවස්ථාවේ කොමිසමේ නිලධාරීන් එහි කඩා පැන විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. 2015 වසරේ සැප්තැම්බර් 30 වැනිදා සහ ඔක්තෝබර් 15 වැනිදා අතර කාලය තුළදී ශ්‍රී ලංකා රේගුවේ සේවකයන් එනම් රජයේ සේවකයන් හැටියට කටයුතු කරමින් විත්තිකරුවන් ගල්හේනගේ බන්දුලසේන යන අයගෙන් රුපියල් මිලියන 125ක අල්ලසක් ගැනීමේ චෝදනාව යටතේ විත්තිකරුවන්ට එරෙහිව කොමිසම නඩු පවරා තිබේ.
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පැමිණිල්ල මෙහෙයවිය. අල්ලස් කොමිසම වෙනුවෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එච්.එම්.ජී. අබේසිංහ මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවූහ.
@දිනමිණ