මදූෂ්ගේ මරණය සැකයි
සමරසිංහ ආරච්චිගේ මදුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මදුෂ් නමැත්තාගේ මරණය සැකසහිත වන බැවින් එකී විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස ඔහුගේ බිරිඳ ඉල්ලා සිටින බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතාගෙන් ඊයේ (07දා) ඉල්ලා සිටියහ.
මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලිසිය නිසි ලෙස විමර්ශන සිදු නොකරන බව පෙනී යන බැවින් ඔහුගේ බිරිඳ එවැනි ඉල්ලීමක් කරන බව ද නීතිඥ සේනක පෙරේරා මහතා ප්රමුඛ නීතිඥවරු අතිරේක මහෙස්ත්‍රාත්වරයාට පෙන්වා දුන්හ.
මාකඳුරේ මධුෂ් නමැත්තා සමඟ සබඳතා පැවැත්වූ දේශපාලනඥයන් රැසකගේ තොරතුරු ඔහු හෙළිකිරීමට සූදානම්ව සිටි අවස්ථාවකදී ඔහු එලෙස වෙඩි වැදීමකින් මියයෑම සැකසහිත බව විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී කරන ප්‍රකාශයක් හැන්සාඩ්ගතව ඇතැයි ද නීතිඥවරු අධිකරණයට පැවැසූහ.
එබැවින් එකී මරණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන මාලිගාවත්ත පොලිසියෙන් ඉවත්කරන ලෙසත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොතීසි නිකුත්කරන ලෙසත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
පොලිස් භාරයේ සිටි ප්‍රබල පාතාල කල්ලි නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මාකඳුරේ මධුෂ් නමැත්තා සඟවා ඇති අවි ආයුධ කිහිපයක් අත්අඩංගුවට ගැනීම සඳහා රැගෙන යන මුවාවෙන් කොළඹ මාලිගාවත්ත නිවාස සංකීර්ණයට ගෙන ගිය අවස්ථාවක දී 2020.10.20 වැනිදා දෙපාර්ශ්වයක් අතර ඇතිවූ වෙඩි හුවමාරුවක දී වෙඩි වැදී මියගොස් ඇති බව පොලිසිය අධිකරණයට දන්වා ඇතත් එම කරුණු දැක්වීම් හා ඔහුගේ මරණය ඉතා සැකසහිත බව මරණකරුගේ බිරිඳගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කියා සිටියහ.
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත්කර ඇති චක්‍රලේඛය අනුව තම අධිකරණයට සීමා පනවා ඇති බැවින් අගතියට පත් පාර්ශ්වය කරන එම ඉල්ලීමට අවසර දීමේ හැකියාවක් තම අධිකරණයට නොමැති බව පෙන්වා දුන් අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විමර්ශන සම්බන්ධයෙන් සෑහීමට පත් නොවන්නේ නම් මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කරන ලෙසට ද අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.
නීතිපතිවරයාට, පොලිස්පතිවරයාට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳව පැමිණිලි කිරීමට ද අගතියට පත් පාර්ශ්වයට හැකියාව ඇතැයි ද අතිරේක මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එම මරණය සැක සහිත වුවත් ජීවිත තර්ජන නිසා මෙතෙක් දිනක් ඒ පිළිබඳව එම කාන්තාව නිහඬව සිට ඇතැයි ද නීතිඥ සේනක පෙරේරා මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.