Latestදේශීය

අපේක්ෂකයෝ 11ක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ශ්‍රී ලංකා පොලීසියට මේ වන විට පැමිණිලි 340ක් ලැබී ඇති බව නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ඊයේ (08) පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු පැවසුවේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව පුද්ගලයන් 364ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් අපේක්ෂකයින් 11 දෙනෙක් සහ ආධාරකරුවන් 356 දෙනෙක්ද ඇතුළත් බවය.

ලැබී ඇති පැමිණිලි අතරින් අපරාධම ස්වභාවයේ පැමිණිලි 54ක් ද , මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව 286ක් ද, ලැබී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එමෙන්ම වාහන 94ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර පෝස්ටර් දස ලක්ෂ හැත්තෑදහසකට වැඩි ප්‍රමාණයක් ඉවත් කර ඇති අතර, නීති විරෝධීව රැගෙන ගිය පෝස්ටර් පන්ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්ද, පොලිස් භාරයට ගෙන තිබේ.

තවද බැනර් 855ක් ඉවත් කිරීමටත්, තවත් 458ක් පොලිස් භාරයට ගැනීමටත් කටවුට් 1,010ක් ඉවත් කිරීමටත් තවත් 1,322ක් පොලිස් භාරයටත් ගෙන ඇත.

අත්පත්‍රිකා 5045ක් ඉවත් කිරීමටත් තවත් 64,000කට වැඩි ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

මේ අතර මහ මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ ඊයේ (08) දිනය වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 150ක් බවය.

ඉන් පැමිණිලි 149ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් බවත් එක් පැමිණිල්ලක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් බවත් එම නිවේදනයේ සඳහන් ව තිබේ.

එමෙන්ම පසුගිය සැප්තැම්බර් මස 26 වැනි දින සිට මේ දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 2088ක් බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඉන් පැමිණිලි 2023ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වන අතර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 20ක් ද වේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *