Latestදේශීය

එක අරමුණකින් වැඩ කරමු, මීට වඩා හොද රාජ්‍යයක් නිර්මාණය කරමු – ජනපති

එක අරමුණකින් වැඩ කර අප මාතෘභූමිය මීට වඩා හොද රාජ්‍යයක් බවට පත් කිරීමට එක්වෙමු යැයි සියලු රාජ්‍ය සේවකයන්ට තමා ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ආරක්ෂක අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට ඊයේ (22) පෙරවරුවේ අකුරේගොඩ ආරක්ෂක සේනා මූලස්ථානයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ දී එක් වෙමිනි.

ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි කාර්ය මණ්ඩලය විසින් ඉතා ගෞරවයෙන් පිළිගෙන තිබූ අතර අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ක්‍රියාකාරිත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවකට ද එක් වී තිබේ.

යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව රජය කැපවී සිටින බවත්, රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බවත් මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත.

ව්‍යවස්ථා නීතිවල කුමන අණපනත් පැවතියත් එසේම ප්‍රබල වන්නේ ජනතාවගේ බලය බවද මෙහිදී අවධාරණය කර ඇති ජනාධිපති, පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේදී ලබාදුන් ජනවරමේ සංයුතිය සහ හැඩතල දෙස බැලූ විට ඔවුන්ගේ එම අපේක්ෂාවන් පිළිඹිඹු කෙරෙන බවද පවසා තිබේ. එහිදි රාජ්‍ය සේවය මෑත ඉතිහාසයේ මැතිවරණයකදී 80%කට ආසන්න ප්‍රමාණයක වරමක් රජයට ලබා දුන්නේ මෙම වෙනස ඔවුන්ගේද ප්‍රාර්ථනයක් බවට පත්ව තිබෙන නිසා බව ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කර ඇත.

එබැවින් දේශපාලන අධිකාරිය ලෙස තම රජයට ජනතාවගේ මෙම අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා දේශපාලන නායකත්වය සැපයීම හැර ඉන් පිටත කිසිදු අරමුණක් නැති බව පවසා ඇති ජනාධිපති අනුර කුමාර දිසානායක, එය යතාර්ථයක් බවට පත් කර ගැනීමට රාජ්‍ය සේවකයන්ගේ සහාය අවශ්‍ය බවද කියා තිබේ.

සියලුදෙනා අපේක්ෂා කරන මෙම නව පරිවර්තනයේ දී රාජ්‍ය සේවය පිළිබඳ පොදු ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීමකින් තොරව ඉදිරියට යා නොහැකි බවත්, දියුණු වූ සෑම රටකම එම ආර්ථික සහ සමාජයීය වර්ධනය සඳහා පෙළඹුම ගෙන දුන්නේ රාජ්‍ය සේවය බවත් පවසා ඇත.

ආරක්ෂක නියෝජ්‍ය ඇමති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ආරක්ෂක අංශ සාමාජිකයන්, ආරක්ෂක අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිට ඇත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *