ක්‍රීඩාව ඉහළට ඔසවා තැබීම අපේ වගකීමයි – සුගත් තිලකරත්න
ක්‍රීඩා සංගම් සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කොට ගැටුම්වලින් තොර පරිපාලනයක් ඇති කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න මහතා පැවසීය. රටේ ක්‍රීඩාව නඟා සිටුවීමට සියලු පාර්ශ්ව එක්විය යුතු බවත්, ඒ වෙනුවෙන් නිවැරදි ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් තිලකරත්න මහතා පැවසීය.
ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න මහතා හා තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුණි.
“ක්‍රීඩාව ඉහළට ඔසවා තැබීම අපේ වගකීමයි. ක්‍රීඩාව කියන්නේ ජාතික හා ජාත්‍යන්තර තරග ජයග්‍රහණය කිරීම පමණක් නොවෙයි. ක්‍රීඩාව තුළින් විනෝදාස්වාදය වගේම රටේ ආර්ථීකයට දායකත්වයක් ලබාදිය හැකියි. පාසල තුළින් බිහිවන දක්ෂ දරුවා ජාත්‍යන්තර තලය දක්වා රැගෙන යෑම අපේ වැඩපිළිවෙළට අයත්. ඒ නිසා සියලු ක්‍රීඩා සංගම් සමඟ සාකච්ඡා කොට ගැටුමකින් තොර පරිපාලනයක් ඇති කිරීමට සියලු පාර්ශ්ව එක්ව කටයුතු කළ යුතුයි” සුගත් තිලකරත්න මහතා පැවසීය.
“සියලු ක්‍රීඩා ගැන අපි අවධානය යොමු කොට තියෙනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇති අඩුපාඩු සකස් කොට ඔවුන්ට නිවැරදි මාවතක් බිහි කළ යුතුයි. ගම් මට්ටම දක්වා පහසුකම් ලබාදීමට අපේ රජය කැප වෙනවා” තිලකරත්න මහතා සඳහන් කළේය.
තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර මහතා සඳහන් කළේ පොහොසත් රටක්; ලස්සන ජීවිතයක් අපේක්ෂා කරන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ පැතුම් ඉටු කිරීම තම රජයේ අපේක්ෂාව බවය. එහිදී තනි තනිව නොව කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වී අභියෝග ජය ගැනීම සාමූහික ප්රයත්නය බව ගුණසේකර මහතා සඳහන් කළේය.
මේ අවස්ථාවට ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අරුණ බණ්ඩාර හා ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ෂේමාල් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු නිලධාරී පිරිසක් එක්ව සිටියහ.
@දිනමිණ