Latestදේශීය

ඩග්ලස් දේවානන්දට වරෙන්තු

නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ඊ.පී.ඩී.පී. පක්ෂයේ නායක හිටපු ඇමැති ඩග්ලස් දේවානන්ද මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා පසුගිය දා (21) නියෝග කළේය.

වැල්ලවත්තේ පදිංචි සුබ්‍රමනියන් මනෝහරන් යන ව්‍යාපාරිකයා විසින් අගරු චෙක්පත් ලබා දී රුපියල් කෝටි දෙකක වංචාවක් සිදු කළ බවට ඩග්ලස් දේවානන්ද මහතා කළ පැමිණිල්ලක් අනුව රහස් පොලිසිය මගින් පැවරූ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කෙරිණි.

ඩග්ලස් දේවානන්ද මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පවසා සිටියේ සාක්ෂිකරු අසනීපයෙන් පසුවන බැවින් අධිකරණයේ පෙනී නොසිටින බවයි.

අසනීප තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කිරීමට අතිරේක මහෙස්ත්‍රාත්වරයා කටයුතු කළේය.

2016 ජූලි 9 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී රුපියල් මිලියන දහය බැගින් වූ චෙක්පත් දෙකක් ගිණුමේ මුදල් නොමැති බව දැන දැනම ලබාදී වංචා කිරීමේ චෝදනාව යටතේ මෙම නඩුව වැල්ලවත්තේ පදිංචි සුබ්‍රමනියන් මනෝහරන් යන ව්‍යාපාරිකයාට එරෙහිව පවරා තිබිණි.

චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් හේවාපතිරණ මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ නඩුවේ පළමු වන සාක්කිකරු වන දේවානන්ද මහතාට සාක්ෂි ලබාදීම සඳහා අවසන් වරට දින ලබාදී ඇති බවය. මෙම සාක්ෂිකරු පසුගිය නඩු වාරයේ දී ද අධිකරණයේ පෙනී නොසිට ඇති බවද පැවසීය.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සාක්ෂිකරුට වරෙන්තු නිකුත් කරමින් පැමිණිලි විභාගය ජනවාරි 23 වැනි දිනට නියම කළේය.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *