කෝටි 888ක මත්ද්‍රව්‍ය සමග “අශේන් පුතා” අත්අඩංගුවට
රුපියල් කෝටි 888කට අධික වටිනාකමකින් යුත් අයිස් හා කොකේන් තොගයක් සහිත බහුදින ධීවර යාත්‍රාවක් සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් පස් දෙනකු මාලදිවයින් මුහුදු සීමාවේ දී මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය මඟින් පෙරේදා (23) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී රුපියල් කෝටි 516ක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344ක් සහ රුපියල් කෝටි 372ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124ක් සොයා ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය අතර සාර්ථක බුද්ධි තොරතුරු වුවමාරු කර ගැනීමක ප්‍රතිඵලයක් ලෙස මේ අත්අඩංගුවට ගැනීම සිදු කෙරිණි.
මාලදිවයින් අනන්‍ය ආර්ථික කලාපය වෙත “අශේන් පුතා” නම් ශ්‍රී ලංකාවට අයත් බහුදින ධීවර යාත්‍රාව ඇතුළුවී ඇති බවත්, එම යාත්‍රාව යම් දෝෂයක් හෝ ආපදාවක් හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයට ඇතුළුවී ඇත්ද යන්න සනාථ කරන ලෙසත්, මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකායේ සමුද්‍රිය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින්, නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රිය සේවීම් හා මුදාගැනීම් සම්බන්ධිකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදු කර තිබේ.
එම දැනුම් දීමට වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, එම යාත්‍රාව සම්බන්ධ නාවික හමුදාව සතු තොරතුරු පරික්ෂා කර ඇත. නාවික හමුදාව සතුව පවත්නා බුද්ධි තොරතුරු අනුව, “අශේන් පුතා” නමැති එම බහුදින ධීවර යාත්‍රාව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ යාත්‍රාවක් බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් පරිදි එම බුද්ධි තොරතුරු කඩිනමින් මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය සමඟ හුවමාරු කර ගැනීමට නාවික හමුදාව විසින් කටයුතු කර තිබේ.
නාවික හමුදාව විසින් ලබා දුන් එම බුද්ධි තොරතුරු අනුව, මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් එරට අනන්‍ය ආර්ථික කලාපය වෙත ඇතුළු වී තිබූ “අශේන් පුතා” මෙරට බහුදින යාත්‍රාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම යාත්‍රාවේ ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය ක්‍රිලෝ ග්‍රෑම් 344ක පමණ තොගයක් සහ කොකේන් මත්ද්‍රව්‍ය ක්‍රිලෝ ග්‍රෑම් 124ක පමණ තොගයක් සමඟ එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් පස් දෙනකු (05) මෙලෙස මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය මඟින් අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21ත් 37ත් අතර වන දෙවිනුවර සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇති අතර, මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන එන මත්ද්‍රව්‍ය තොගයක්ද, නැතහෝත් වෙනත් කලාපීය රාජ්‍යයකට රැගෙන යන්නක්ද යන්න පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු නාවික හමුදා බුද්ධි අංශය සහ මාලදිවයින් බුද්ධි අංශය එක්ව සිදු කරණු ලබයි.
ධීවර කර්මාන්තය මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා කලාපීය සමුද්‍රීය පාර්ශ්වකරුවන් සමඟ තොරතුරු හුවමාරු කර ගනිමින්, නාවික හමුදාව ඉදිරියටත් අඛණ්ඩව මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමේ මෙහෙයුම් සඳහා දායකත්වය ලබා දෙනු ලබයි.
@දිනමිණ