Latestදේශීය

නිධානය හෑරීම අවසන් කරයි

වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට ආසන්නයේ පොළොව යට ඇතැයි කියන නිධානයක් සොයා මෙරට ඉතිහාසයේ ප්‍රථමවරට අධිකරණ නියෝගයකට අනුව සිදු කළ තෙදිනක කැණීම් කටයුතු පසුගිය දා (23දා) සවස අවසන් කළ බවත්, එහිදී නිධානයක් තබා කිසිදු ආගන්තුක දෙයක් සොයාගත නොහැකිවූ බවත් පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

බැකෝ යන්ත්‍ර 2ක් යොදා ගනිමින් සිදුකරන ලද මෙම කැණීම අනුව මෙය ගල් පළපු බොරුවක් බවට ඔප්පු වී තිබේ.

නිධන් වස්තු ඇතැයි කියන ස්ථානයෙන් පෙරේදා (23දා) ගොඩගැනුණු විශාල විශ්කම්භයකින්යුත් පාෂාණය විදුම් යන්ත්‍රයක ආධාරයෙන් කුඩා කොටස් බවට පත්කරනු ලැබීය.

අදාළ කැබලි ගොඩගෙන අවසන් වීමෙන් පසු කැණීම් කළ ස්ථානය පරිලෝකන පරීක්ෂාවකට ලක්කරනු ලැබූ අතර, එම ස්ථානයෙන් කිසිදු දෙයක් සම්බන්ධයෙන් එම යන්ත්‍රය මගින් පෙන්වා දෙනු ලැබුවේ නැත.

ගොඩගත් දැවැන්ත කළුගල් කුට්ටි පැය තුනක පමණ කාලයක් තිස්සේ කුඩා කැබලි බවට කඩා පරීක්ෂාවට ලක්කරනු ලැබූ අතර එහිදී ද කිසිවක් අනාවරණය නොවූ බව එම බළකාය කියයි.

වසර ගණනාවක සිට විවිධ පිරිස් විවිධ අවස්ථාවලදී මෙම ස්ථානයේ නිධන් හෑරීම හේතුවෙන් ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට සිදුවන හානි වළක්වා ගැනීම අරමුණු කරගනිමින් අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත වේයන්ගොඩ පොලිසියේ මෙහෙයවීමෙන් මෙම කටයුතු සිදුකෙරිණි.

ඒ අනුව පසුගිය 21 වැනිදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, භූ විද්‍යා පතල් සමීක්ෂණ කාර්යාංශය, රජයේ රසපරීක්ෂක කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය, වේයන්ගොඩ පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම කැණීම් කටයුතු ඇරඹිණි.

වේයන්ගොඩ වඳුරව රාජමහා විහාරයට සමීපව අධිවේගී මාර්ග රක්ෂිතයේ පිහිටි මෙම ස්ථානය නිධන් වස්තු ඇති බවට ඇතැමුන් තුළ මත පවතින බවත් එම ප්‍රදේශවාසීහු කියා සිටියහ.

ඒ අනුව අදාළ ස්ථානයේ නිධන් වස්තු සොයා වරින් වර කැණීම් කළ බව කියන චීවරධාරියකු ඇතුළු නවදෙනකු දැනටමත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි පොලිසිය පවසයි.

රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව ඉදිරියේ අදාළ ස්ථානයේ කැණීම් සිදුකරන ලෙසට අධිකරණය නියෝග කර තිබිණි.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් භූගත පරිලෝකන යන්ත්‍රයක ආධාරයෙන් පෙන්වාදුන් ස්ථානය බැකෝ යන්ත්‍ර 2ක් යොදාගෙන කැණීම් කිරීම ආරම්භ කෙරිණි.

මෙම කැණීම් කටයුත්ත ඇරඹුණු පළමු දිනය වන 21 වැනිදා වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා කැණීම්වලින් කිසිවක් සොයාගත නොහැකි විය.

දෙවැනි දිනය වූ 22 වැනිදා සිදුකළ කැණීම් කටයුතුවලදී විශාල ප්‍රමාණයේ ගලක් සොයාගනු ලැබීය.

එම ගල ඉවත් කිරීම සඳහා දෙවැනි දිනයේ දොඹකරයක් ද රැගෙන ආ නමුත් එම කටයුතු අවසන් කිරීමට නොහැකිවිය.

කැණීම් කටයුතු සඳහා අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අවසර දී තිබුණේ දින 2ක් පමණක් බැවින් වේයන්ගොඩ පොලිසිය යළි අධිකරණයට කරුණු දක්වා කැණීම් සඳහා තවත් දිනයක් ලබාදෙන ලෙසට අවසර ගත්හ.

ඒ අනුව අධිකරණය අවසර ලබාදීමෙන් පසු (23දා) තුන් වැනි දිනයටත් නිධානය සොයා කැණීම් කටයුතු පෙරවරු 9.00ට ආරම්භ කෙරිණි.

විශාල ප්‍රමාණයේ ගල ඉවත් කිරීමට නොහැකි වූ පසුබිමක එය කැබලි කිරීමට බලධාරීහු පියවර ගත්හ.

අනතුරුව ගල් කැබලි අතිවිශාල මහජනතාවක් ඉදිරියේ කුඩු කරනු ලැබුව ද එහිදී නිධානයක් හෝ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත දෙයක් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් එහි රැස්ව සිටි සියලු රාජ්‍ය නිලධාරීන්ගේ එකඟතාවය අනුව පෙරේදා පස්වරු 4.00ට එම කැණීම් කටයුත්ත අවසන් කෙරිණි.

මෙලෙස කැබලි කර බැලීමේදී සියල්ල විශාල කළුගල් ගොඩක් බවට පත්ව තිබිණි.

වේයන්ගොඩ පොලිසිය සඳහන් කළේ සිදු කරන ලද මෙම කැණීම් සම්බන්ධව අඟහරුවාදා (26දා) අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි පියවර ගන්නා බවය.

අදාළ කැණීම් කටයුත්ත අවසන් කිරීමෙන් පසු රැස්ව සිටි ජනතාව විසිර ගියහ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා මෙසේ පැවසීය.

“ශ්‍රී ලංකාවේ නිධන් තියෙනවා කියලා වැරැදි මිථ්‍යාවක් යනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලංකාව පුරාම කැණීම් කරලා තියෙනවා. ඔය කියන මහා අනර්ඝ වස්තු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හමුවෙලා නැහැ. මේ රටේ ඉතිහාසය විවිධ තැන්වල තියෙන්න පුළුවන් නිර්මාණ විදිහට. එවැනි නිර්මාණ ඔබ සියලු දෙනා විනාශ කරන්න එපා කියලා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මිථ්‍යා විශ්වාස පස්සෙ යන්න එපා.

මේ අතර මෙම කැණීම් කටයුතු හේතුවෙන් යෝජිත අධිවේගී මාර්ගයට අදාළ ස්ථානවලට වූ හානියට අදාළ මුදල් මාර්ග සංවර්ධන අධිකාරිය අය කරගන්නේ කෙසේද යන්න ඔවුන්ට ප්‍රශ්නාර්ථයක් වී තිබේ.

එසේම නිධන් සිද්ධියට චෝදනා ලැබ සිටින බලවත් පුද්ගලයකුගේ නිර්දෝෂී බව තහවුරු කිරීම සඳහා මෙම සිද්ධියට අදාළ පැමිණිලි සකස් කළේද යන්න සම්බන්ධයෙන් ද මේ වනවිට ජනතාව අතරේ කුකුසක් ද හටගෙන තිබේ.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *