අන්ත ජාතිවාදියා සහ අන්ත ලිබරල්වාදියා
(විදර්ශන කන්නන්ගර)
කැලුම් ජයසුමන යනු අන්ත ජාතිවාදියෙකි. සිරිමල් විජේසිංහ යනු අන්ත ලිබරල්වාදියෙකි.
දීප්ති ගුණරත්න ගේ චිරකාලීන මිතුරකු ද වන සිරිමලා මේ වනවිට දීප්තිගේ ‘සමබිම පක්ෂයේ’ යූටියුබ් නාලිකාවේ (CARBON TV )සාකච්චා මෙහෙයවන්නකු ලෙස කටයුතු කරයි.
ඒ අනුව සිරිමල් සිය වැඩසටහනේ සංවාද භාෂකයකු ලෙස අවස්ථා දෙකකදී පමණ ජයසුමනව කැදවා ජවිපෙ/ජාජබ ආණ්ඩුවේ පලු ඇරවයි. සිරිමල් වැඩසටහන පටන් ගන්නේම සිය ‘ජවිපෙ/ජාජබ සතුරා’ විනාශ කළ යුතුය යන පණිවිඩය ආරාධිතයාට මතක් කරමිනි. බොහෝවිට සංවාද ආරාධිතයා ජයසුමනයා හෝ එවැනි විසකුරු ජාතිවාදියකු වන නිශාන්ත ශ්‍රී වර්ණසිංහ වැන්නෙකි.
සිරිමල් විකොස ධාරාවේ දේශපාලනයෙන් මාක්ස්වාදය හදුනාගත්තෙකි. එහිම ව්‍යුත්පන්නයක් ලෙස දෙමළ ජාතික විමුක්ති අරගලයට පක්ෂවත් දකුණේ සිංහල ජාතිවාදයට එරෙහිවත් කලක් මත දැරූවෙකි. සංස්කෘතික වශයෙන් ඔහු ‘සාංදෘෂ්ටික නාස්තිකවාදියෙකි’. සිංහල-බෞද්ධ සංස්කෘතික ආරක්ෂණවාදයට වැරෙන් පහර දුන්නෙකි.
ඒ සිරිමල්ලාගේ අද දවසේ අතිජාත දේශපාලන මිතුරන් වී සිටින්නේ කලක් ඔහු වැන්නන්ගේ සතුරු කදවුර වූ විසඝෝර ජාතිවාදයේ කප්පිත්තන් වන ජයසුමන,වර්ණසිංහ ආදීන් ය. සෑදී ඇති ෆිට් එකේ තරම කොපමණද යත් ජයසුමන වෙනුවෙන් උසාවියට ද ගාටා, දොලවත්තයාගේ වොයිස් කට් එකට ද හූමිටි තබමින්,රෙනෝගේ හිරු එකේ ද සිරිමලා පායා තිබිණි.
අමුත්තක් නැති මේ අමුතු මිතුරන් අද සන්ධාන ගත වී සිටින්නේ සිය සතුරු පාර්ශවය යැයි හදුන්වන ජවිපෙ/ජාජබ ආණ්ඩුව හා එකී කදවුරට එරෙහිවය. සිරිමල් යනු මේ සටහනට අදාළ එක් නිදර්ශනයක් පමණී. ජවිපෙ/ජාජබ ජනතා හැරවුම යළි හැරවීමට හා එකී ආණ්ඩුව බිද දැමීමට අන්ත ජාතිවාදීන් හා ලිබරල් මහත්වරුන් අතර මෙවැනි ප්‍රකාශිත හා අප්රකාශිත සම්මුතියක් මේ වනවිට පැහැදිළිවම ගොඩනැගෙමින් තිබෙයි.
සිරිමල්ට අනුව තමන් මාක්ස්වාදියෙකි. ඒ අතරම ඔහු දේශපාලනිකව රනිල් වික්‍රමසිංහ ගේ අනුගාමිකයෙකි. කෙනෙකුගේ ඔලුව කර්පට් විය හැකි මුත් ඉහත අච්චාරුව සාධාරණීකරණය කරගන්නා පරණ මෝඩ තර්කයක් ද සිරිමල්ලාට ඇත. එනම් ‘සමාජවාදය හෝ කොමියුනිස්ට්වාදය පැමිණීමට නම් ධනේෂ්වර ප්‍රතිසංස්කරණ පරිසමාප්ත විය යුතු අතර ඒ සදහා ලංකාවේ සිටින සුදුස්සා රනිල් වික්‍රමසිංහ බවට’ වන අදහසයි. විකොස ධාරාවේ හා නසසප ප්රවනතාවයේ මාක්ස්වාදී දේශපාලනයෙන් බාගෙට තැම්බී මෙවැනි විකෘති මතවාදී ඉරණමකට ලක් වූ සැලකිය යුතු නරුම මතධාරී රංචුවක් ලංකාවේ සිටියි. ඔවුන් තවමත් නතර වී සිටින්නේ 90 දශකයේය. ධනවාදයේ තව දුර වර්ධනයට කළ හැක්කේ ගෝලීය මිනිස් සමාජයත්,පෘථිවි ශිෂ්ටාචාරයත් සුන්නද්දූලි කරදැමීම මිස ඒ අළු දූවිලි මතින් සමාජවාදී ෆීනික්ස් පක්ෂියකු නැගිටින්නේ නැති බව තේරුම් ගැනීමට තරම් අවශ්‍යතාවයක් මුන්ගේ අවස්ථාවාදී ඇරියස් දේශපාලනය විසින් සපයාදෙන්නේ නැත.
පශ්චාත් නූතනවාදයේ නරුමම ස්වරූපය සිය ශරීරයන්ගෙන් මූර්තිමත් කිරීම ගැන සිරිමල්ලාට අප ස්තූතිවන්ත විය යුතුය. පශ්චාත් නූතනවාදය යනු විශ්වීයත්වයේ සමානාත්මතා දහම ප්‍රතික්ෂේප කරන සුවිශේෂත්වයන්ගේ උත්කර්ෂණයකි. එහි සංස්කෘතික සාපේක්ෂතාවාදයට අනුව මාක්ස්වාදය,ලිබරල්වාදය හා ජාතිවාදය අතර වන තීරණාත්මක ඛණ්ඩනයන් සලකුණු කෙරෙන්නේ නැත.
එහිදී දේශපාලනය නාමයෙන් පුද්ගලවාදී ඇරියස් කවර් කරගැනීමක් සදහා ඊනියා ලිබරල්වාදීන්ට අමු ජාතිවාදයේ පිළිසරණ පැතීම සිම්පල් උපයෝගිතාවයකි. ඒ අනුව හෙට දවසේ මුන්ගේ ප්‍රධානතම සතුරන් වන්නේ ජනතා විමුක්ති වාම ප්‍රවාහයයි. එහිදී සිය අතීත හෘද සාක්ෂියද මකා දමමින් නිරුවත් ජාතිවාදය සමග නිදිවැදීමට ද මොවුන් සූදානම් ය.