යෝජනා දෙකක්
(බටහිර ඉවුරේ දර්ශනය)
විමුක්ති දේශපාලනය යනු පරස්පර විරෝධී දේශපාලනයකි. මෙයට හේතුව වන්නේ එය දේශපාලනය යන්නම අහෝසි කිරීම ඉලක්ක කරනා දේශපාලනයක් වීමයි. කොමියුනිස්ට් සමාජයේ දී රාජ්‍යය යන්න අහෝසි වී යන්නේ මේ නිසාය. එහිදී මිනිසා මත පීඩාකාරී ලෙස යෙදිය හැකි බල ව්‍යුහයන් අහෝසි කර දැමීම ඉලක්ක කරයි. නැවතත්, විමුක්ති දේශපාලනය යනු බලය යන්නම අහෝසි කිරීම වෙනුවෙන් සිදු කරන පරස්පර විරෝධී බල දේශපාලනයකි.
මර්දනකාරී රාජ්‍ය යන්ත්‍රණය පිළිබඳව අදහස පදනම් වන්නේ දේශපාලනය පිළිබඳව මෙම අවසානාත්මකවාදී අදහස මතයි. එය අනිවාර්යයයෙන් සාක්ෂාත් වන දේශපාලනයේ පරම අවසානයක් පිළිබඳව අදහස මත පදනම් වෙයි. දැන් තිබෙනා රාජ්‍ය මර්දනකාරී වීම අනිවාර්යය වන අතර මෙයට විසඳුම වන්නේ රාජ්‍ය යන්නම අහෝසි කර දැමීම පමණි කියා එමගින් නිගමනය කරයි.
අප සිතනා ආකාරයට දේශපාලනයේ මෙම පරම අවසානය පිළිබඳව අදහසට එල්ල වූ පශ්චාත්නූතනවාදී විවේචනය නිවැරදි වෙයි. නමුත් මින් අදහස් වන්නේ විශ්වීය යුක්තිය පිළිබඳව බලාපොරොත්තුව අප අත්හැරිය යුතු බව නොවේ. එතැනදී අපි දාර්ශනිකව පශ්චාත්නූතනවාදයෙන් තීරණාත්මක ලෙස වෙන් වෙමු. නමුත් විශ්වීය යුක්තියේ සාක්ෂාත් වීම තවදුරටත් දේශපාලනික මැදිහත්වීමක ප්‍රතිඵලයක් කියා අපට ගත හැකි නොවේ. ඒ වෙනුවට එය සත්භාවවේදී පරිවර්තනයක් විය යුතුය කියා අපි සිතමු.
නමුත් මේ නිසාම දේශපාලනික මැදිහත්වීම් පරිමිත වනවා යන පශ්චාත්නූතනවාදී ස්ථාවරයට අපි එකඟ වෙමු. වෙනත් ආකාරයකට කියන්නේ නම් දේශපාලන මැදිහත්වීම් කිසිවක් අවසානයේ දී අපට පරම විසඳුමක් ලැබෙනවා කියා බලාපොරොත්තු විය නොහැක. මෙහි ප්‍රතිඵල දෙකක් වෙයි. එකක් වන්නේ අපට දැන් පරම අවසානය ළඟාකර ගැනීමේ ‘හදිසි අවශ්‍යතාවයේ’ නාමයෙන් තාවකාලිකව රාජ්‍යයේ මර්දනකාරී බලය තීව්‍ර කිරීමේ අයිතිය අහිමි වෙයි. ඒ වෙනුවට අප උත්සාහ කළ යුත්තේ පීඩක යන්ත්‍රණයක් ලෙස රාජ්‍යයේ භූමිකාව හැකි තාක් අවම කිරීමයි.
නමුත් අනෙක් අතට අපට දැන් රාජ්‍ය යන්ත්‍රණය ‘මර්දන යන්ත්‍රණය’ යන අදහසට ඌනනය කිරීමට ද නොහැකි වේ. අධිකරණ, පොලිසිය, සිරගෙවල් අවසන් කරන පරම අවසානයක් වෙත අපේ දේශපාලන මැදිහත්වීම් දිශානත නොවන්නේ නම් අප ඒවා – අවම වශයෙන් අපට පෙනෙන අනාගතයේ – දේශපාලනයේ කරුණුමය යථාර්ථයක් ලෙස බාරගත යුතුය. ඒවායේ කාර්යභාරය ගැන ‘මර්දන යන්ත්‍රණය’ යන ඌනිතවාදී කියවීමට වඩා සංකීර්ණ විවරණයක් අවශ්‍ය වෙයි. අන් සියල්ලට වඩා මේවායේ භූමිකාව සම්බන්ධයෙන් අප පොදු සම්මුතියක් ඇති කරගත යුතුය.
අවශ්‍ය වන්නේ අප කුමන ගැටලු සම්බන්ධයෙන් කුමන ආකාරයේ නීති සම්පාදනය කළ යුතු ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡාවකි. මෙයට ආරම්භයක් ලෙස මෙවැනි යෝජනා දෙකක් කිරීමට අපි කැමැත්තෙමු.
1. සමාජ මාධ්‍ය තුළින් ආණ්ඩුවට විහිළු කිරීමට, උපහාසයට ලක් කිරීමට පමණක් නොව ජනාධිපතිවරයා ගේ විවාහ ජීවිතය සම්බන්ධයෙන් ඇති ප්‍රකට අප්‍රසන්න අවලාද වැනි දේ පවා එල්ල කිරීමට මිනිසුන්ට නිදහස තිබිය යුතුය. නමුත්, අනෙක් අතට, දැනුවත්ව ජාතීන් අතර සමගියට භේද කිරීමට කටයුතු කරන මිනිසුන්ට එරෙහිව නෛතික පියවර ගත යුතුය. අප සිතනා ආකාරයට ජාතිවාදය වැනි සංකීර්ණ ප්‍රපංචයක් ‘සංවාද කිරීමෙන්’ පමණක් අවසන් කළ හැකි නොවේ.
2. නමුත් එම නීති සාධාරණ සහ මර්දනකාරී නීති නොවිය යුතු බවට අප වග බලා ගත යුතුය. මේ සඳහා සමාජයේ පොදු කතිකාවක් මගින් බිහිවන නව සම්මුතියක් ඇති විය යුතු අතර ඒ සඳහා තිබෙනා නීති ප්‍රතිසංස්කරණය වෙත ආණ්ඩුව යොමු විය යුතුය.