Latestදේශීය

කෝපා (COPA) මුල්පුටුව විපක්ෂයට – බිමල් රත්නායක

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට තීරණය කර තිබෙන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නැතිනම් පක්ෂ නායක රැස්වීම සම්බන්ධයෙන් අද (6) පාර්ලිමේන්තුවේදී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව පවසා සිටියේය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ සභානායක බිමල් රත්නායක මහතා,

“රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට අපි තීන්දු කර තිබෙනවා. ඒක ඔබතුමාලා ඉල්ලපු දෙයක් නෙමෙයි. ඒ වගේම රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සාමාජික සංඛ්‍යාව වැඩිකරලා තිබෙනවා ස්ථාවර නියෝගවලට වඩා වැඩියෙන්. 

කෝප් කමිටුවේ (පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව) සභාපතිකම අපි කිව්වා ඒක ආණ්ඩු පක්ෂයට අවශ්‍යයි කියලා. පළමු කාලයේදී පරීක්ෂා කරන්න වෙන්නෙ පසුගිය ආණ්ඩුවේ දේවල්. අපි කැමති නැහැ ඒ ආණ්ඩුවේ ඇමති කෙනෙක් ඇවිල්ලා කෝප් එකේ සභාපති වෙනවට. ඒක සදාචාර සම්පන්න නෑ”.

මේ අතර අද උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භකළ අවස්ථාවේදී සභානායක වරයා පවසා සිටියේ ආංශික කාරක සභාව පත්කිරීමට ජනවාරි මස 31 දක්වා කාලය ලබාගෙන තිබෙන බවයි.

එමෙන්ම මුදල් කාරක සභාව පත්කිරීම පිළිබඳ තීරණයක් අද පස්වරුවේ ගැනීමට තීරණය කර තිබෙන බවද පැවසීය.

මේ අතර ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යංශය, මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යංශ, ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යංශය ඇතුළු අමාත්‍යාංශ උපදේශක කාරක සභා 24ක් පත්කළ යුතුව ඇති බවත් ඔහු මෙහිදී පැවසීය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *