Latestදේශීය

විදුලි ගාස්තු අඩු කරන්න බැහැ – විදුලිබල මණ්ඩලය කියයි

ඉදිරි මාස හය සඳහා විදුලි ගාස්තුව සංශෝධනයකින් තොරව පවත්වාගෙන යා යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට කළ දැනුම්දීමට පාර්ශ්ව රැසක් විරෝධය පළකරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ වැස්ස ලැබී ජලවිදුලිය උත්පාදනය පවා ඉහළ අගයක පවතින පසුබිමක එහි වාසිය ජනතාවට නොදෙන්නේ ඇයිදැයි බලධාරීන් පැහැදිලි කළ යුතු බවයි. 

මාස තුනකට වරක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ ප්‍රතිපත්තිය අනුව මේ වසරේ අවස්ථා දෙකකදී විදුලි ගාස්තු අඩු කළේය.

ඒ මාර්තු මාසයේ 21.9%කින් සහ ජුලි මාසයේ 22.5%කින්.

අනතුරුව ඉකුත් ඔක්තෝබර් මාසයේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමට නියමිතව තිබුණද, එය දෙසැම්බර් මාසය දක්වා කල් ගියේය.

අවසානයේ ලංකා විදුලි බල මණ්ඩලය 6%ත් 11%ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තු පහළ දැමීමට කළ යෝජනාව මහජන උපයෝගිතා කොමිසම ප්‍රතික්ෂේප කළේය.

ඒ පවතින තත්ත්වය මත ඊට වැඩි ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කළ හැකි බව පවසමින්.

මෙවන් පසුබිමක ඊයේ නැවතත් ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වුණේ ඉදිරි මාස 6 සඳහාද විදුලි ගාස්තු පහළ දැමීමකින් තොරව පවත්වාගෙන යා යුතු බවටයි.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ දැනට විදුලි ගාස්තුවේ සංශෝධනයක් සිදුකරන්නේ නම් එය සිදුකළ හැක්කේ 1.02%ක් වැනි අඩු ප්‍රතිශතයකින් බවට විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇති බවයි.

කෙසේ වෙතත්  විදුලි ගාස්තු පහළ නොදැමීමේ යෝජනාව සම්බ්න්ධයෙන් පාර්ශ්ව රැසක් විරෝධය පළකරයි.

පසුගිය සමයේ ඇදහැලුණු දැඩි වර්ෂාවත් සමග ජලවිදුලිය නිෂ්පාදනයට යොදාගන්නා ජලාශවල ජල මට්ටමද මේ වනවිට ඉහළ ගොස් ඇති අතර, ඊයේ දිනය වනවිට ජලවිදුලි නිෂ්පාදනය දැක්වුණේ 56%ක් ලෙසයි.

කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලයේ යෝජනාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය ලබන ජනවාරි මස 3 වැනි සතිය පමණ වනවිට ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළේය.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *