Latestදේශීය

රටින් පැන්නූ සල්ලි යළි ලංකාවට ගේන්න එක්සත් ජනපදයේත් සහාය

වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී සහයෝගය ලබාදෙන බවත් ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන ගොස් තිබෙන මුදල් නැවත ගෙන ඒම සම්බන්ධයෙන් රජය ගෙනයන වැඩපිළිවෙලට තාක්ෂණික සහාය ලබාදීමටද සූදානම් බවත් දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු (Donald lu) පවසයි.

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර ජනාධිපති කාර්යාලයේදී ඊයේ (07) පැවති හමුවේදීය.

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ආර්ථිකය ගොඩනැගීම සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමටද ඇමරිකානු රජය සූදානම් බව සහකාර රාජ්‍ය ලේකම් මෙහිදී සඳහන් කර ඇත.

දේශපාලන, ආර්ථික හා සමාජීය කාරණා සම්බන්ධ ප්‍රමුඛතා හඳුනාගනිමින් නව රජය ගෙනයන වැඩපිළිවෙළ මෙහිදී අමෙරිකානු රජයේ ඇගයීමට ලක් කර තිබේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ දූෂණ සහ නාස්ති කිරීම සම්බන්ධයෙන් දේශපාලන සංස්කෘතිය සෘජුව බලපා තිබෙන බවත් නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම තුළින් දූෂණය සහ නාස්ති අවම කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය.

ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීම තුළින් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්වය ඉහළ දැමීමට වැඩසටහන් ආරම්භ කර ඇති බවත් නවීන තාක්ෂණය රාජ්‍ය සේවයට හඳුන්වාදෙමින් ගුණාත්මක රාජ්‍ය සේවයක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සඳහන් කර ඇත.

කම්කරු ඇමති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති අතිරේක ලේකම් රොෂාන් ගමගේ, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් (Julie Chung) USAID ආසියාවේ නියෝජ්‍ය සහකාර පරිපාලක අංජලී කෞර් (Anjali Kaur), එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් (Robert Kaproth), USAID දූත මණ්ඩල අධ්‍යක්ෂ ගෙබ්බ්‍රියල් ග්‍රාව් (Gabriel Grau), දේශපාලන හා ආර්ථික කටයුතු පිළිබඳ උපදේශක ෂෝන් ග්‍රේ (Shawn Gray) ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *