Latestදේශීය

රනිල් කියන්නේ ආර්ථික ඝාතකයෙක් – ඩලස් අලහප්පෙරුම

(නුවන් කොඩිකාර)

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණය කල්දැමීම සාමූහික දූෂණයකට පසුව කරනු ලැබූ දේශපාලනික ගබ්සාවක් සේම මූල්‍යමය වශයෙන් කළ ආර්ථික ඝාතනයක් බව නිදහස් ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ජනාධිපති, විපක්ෂ නායක ඇතුළු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත ලිපියක් යොමු කරමින් ඒ මහතා මේ බව කියා සිටියි. “ප්‍රජාතන්ත්‍රවාදය ගබ්සා කිරීමේ වන්දිය ගෙවනු – ජනාධිපති රනිල්ට අපරාධ චෝදනාවක්“ යනුවෙන් ශීර්ෂ පාඨ සහිතව ලියා දක්වා ඇති එම ලිපිය තුළින් සිදුවීම් ගණනාවක් පිළිබඳ කරුණු දක්වා තිබේ.

වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මෙම ආර්ථික ඝාතකයන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග කුමක් දැයි උපේක්ෂාවෙන් බලා සිටින බව ද අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

එමෙන්ම තමා විසින් අපතේ දැමූ ජනතා බදු මුදල් නැවත ජනතා සන්තක කරමින් දේශපාලන ඉතිහාසයට ශිෂ්ට සහ ශීලාචාර පරිච්ඡේදයක් එකතු කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය තරම් කාලය ඉතුරුව තිබෙන බව ද එම ලිපිය මඟින් අවධාරණය කර ඇත.

එහි මෙසේද සඳහන් කර තිබේ.

මීට මාස 22කට පෙර කැඳවූ නාමයෝජනා අවලංගු කොට නාමයෝජනා කැඳවීමටද පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබේ. විකෘතිය, ප්‍රකෘතිය බවට පත් කිරීමේ මේ තීරණයට සියලුම දේශපාලන පක්ෂවල ද පුරවැසියන්ගේ ද ආශිර්වාදය හිමිවනවා නොඅනුමානය.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් තම දේශපාලන ශූන්‍ය භාවය වසා ගැනීමේ අප්‍රකාශිත අරමුණ සහිතව, 2023 ජනවාරි අග සතියේදී අත්තනෝමතික ලෙස ගනු ලැබූ මැතිවරණය අවලංගු කිරීමේ තීරණය නිසාවෙන්, පළාත් පාලන මැතිවරණය සඳහා මේ වන විට වියදම් කොට ඇති රුපියල් කෝටි හැත්තෑ දෙකකට (720,000,000/=) වැඩි රාජ්‍ය මුදල අපතේ යනු ඇතැයි මැතිවරණ කොමිසම උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කොට තිබුණි. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එවකට ඇස්තමේන්තුගත කරන ලද මුළු පිරිවැය, රුපියල් බිලියන 8කි (8,000,000,000/=). ඒ අනුව, කිසිදු සාධාරණ හේතුවක් හෝ නොමැතිව මෙලෙස අපතේ යාමට නියමිත මුළු මුදල් ප්‍රමාණය අපේක්ෂිත මුළු වියදමෙන් 10% ක් බව නිරවුල්ය. තවද මෙම අසීමිත ධනය, පාලකයන් තම වතු ආදායමින් උපයා ගත් ඒවා හෝ තම පවුලේ ගිණුම්වලින් වෙන්කරගත් මුදල් නොව මහජනතාවගේ රීරි මාංස සූරා උපයා ගත් බදු මුදල් බව ද අතාර්කිකය, පැහැදිලිය.

එසේම එදවස, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තීරණය කළ, මැතිවරණ කොමිසමට හා කොමසාරිස්වරුන්ට ගරහමින්, මැතිවරණ පවත්වන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය සහ එහි විනිසුරන් අවමානයට පත් කරමින්, මැතිවරණ සඳහා භාණ්ඩාගාරයට මුදල් නැති බව පවසමින් නොනැවතී අවසානයේ, මැතිවරණයකට නාමයෝජනා කැඳවා නැතැයි යනුවෙන් අශිෂ්ට ප්‍රකාශ පාර්ලිමේන්තුවේදී සභාගත කිරීමට තරම්, රාජ්‍ය නායකයා තමා දේශපාලන කවන්ධයක් බව තහවුරු කිරීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වීම විගඩමක් ලෙසින් වුව ද සාහසික ව්‍යාකරණයන් සමඟින් ඉතිහාසයේ සටහන්ව අවසානය. ජනාධිපතිවරයා, තම අප්‍රකාශිත දේශපාලන කාමය සංසිඳුවා ගැනීමේ වුවමනාවෙන්, මැතිවරණය කල් දැමීමට තීරණය කරනු ලැබුවේ තැපැල් ඡන්ද විමසීමට ආසන්න මොහොතේදී වීම දේශපාලනිකව වඩාත් සාහසිකය. ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් ගත් කල කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මෙලෙස මැතිවරණ කල් දැමීම, සාමූහික දූෂණයකට පසුව කරනු ලැබූ දේශපාලන ගබ්සාවක් වන්නා සේම මූල්‍යමය වශයෙන් ගත් කල මෙය, මහ දවල් කරනු ලැබූ ආර්ථික ඝාතනයක් බව දැන් මොනවට පැහැදිලි වේ.

රාජ්‍ය භාණ්ඩාගාරය සතු බදු මුදල් වූ උක්ත කෝටි 72ට අමතරව, නාමයෝජනා භාරදුන් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කළ අපේක්ෂක අපේක්‍ෂිකාවන් අසූදාස් හයසිය හැත්තෑ දෙදෙනකු (80,672) මැතිවරණය වෙනුවෙන් වියදම් කොට අපතේ යාමට නියමිත මුදල මෙපමණකැයි කිසිවකුට තක්සේරු කළ නොහැකිය. ඊට අමතරව, මේ පිරිස, ඔවුනගේ ඇප මුදල් වශයෙන්ම වසර දෙකක් පුරා තැන්පත් කොට ඇති මුදල පමණක් රුපියල් මිලියන එකසිය අසූවක් (රු.කෝටි 18ක්) වන අතර එයම, මේ ආර්ථික ඝාතනයේ විසකුරු ස්වරූපය මැන ගත හැකි පර්යේෂණීය සාක්ෂියකි.

එබැවින්, මහ බැංකු මංකොල්ලය, සීනි බදු වංචාව, වීසා වංචාව වැනි අප දේශපාලන සාහිත්‍යයේ සඳහන් වූ අපරාධ ගොන්නට පුංචි ඡන්ද මංකොල්ලය ලෙස මෙය ඇතුළත් කළ යුතු අතර ව්‍යවස්ථාවෙන් හිමි කරගෙන ඇති දේශපාලන වරප්‍රසාද නොසලකා වගඋත්තරකරුවන්ට දැඩි දඬුවම් ලබාදිය යුතුය. රාජ්‍ය බදු මුදල් ගෙවා ගත නොහැකිව, ණය පොලී ගෙවා ගත නොහැකිව, දරුවන් පාසල් යැවීමට නොහැකිව, විදුලි බිල ගෙවා ගත නොහැකිව, දහස් සංඛ්‍යාත පුරවැසියන් දිවි නසා ගන්නා රටක මේ සා විශාල මහජන ධනස්කන්ධයක්, හපකොට දැමූ දේශපාලන පිශාචයන් දණ්ඩනයට කැප කිරීම සමාජ යුතුකමක් හා වගකීමක් නොවන්නේද.?

එම නිසා, අපයෝජනය කළ මෙම කෝටි 72ක මහජන ධනය, මීට වසර දෙකකට පෙර අදාළ තීන්දුව ගත් පාලකයන්ගෙන් අයකර ගන්නා ලෙස ඉල්ලා පුරවැසියන් ලෙස අපි අධිකරණ ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට අපේක්ෂා කරන්නෙමු. ඊට අමතරව, වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මෙම ආර්ථික ඝාතකයන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග කුමක්දැයි උපේක්ෂාවෙන් බලා සිටින අතර නව මැතිවරණය සඳහා දින නියම වීමට සමාන්තරව ම මිලියන විසි දෙකක් වූ වින්දිතයන්ට සාධාරණය ඉටු වෙනු ඇතැයි යන්න බදු ගෙවන ජනතා අපේක්ෂාව බව ද දැනුම් දිය යුතුව තිබේ. ඒ සියල්ලටම පෙර, තමා විසින් අපතේ දැමූ මෙම ජනතා බදු මුදල් නැවත ජනතා සන්තක කරමින් දේශපාලන ඉතිහාසයට ශිෂ්ට සහ ශීලාචාර පරිච්ඡේදයක් එකතු කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය තරම් කාලය ඉතුරුව තිබෙන බව ද ගෞරවයෙන් පෙන්වා දීමට කැමැත්තෙමු.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *