Latestදේශීය

පොලීසිය තියුණු ආයුධයකින් කපා ඇත්තේ බුද්ධි අංශ නිළධාරියෙක්

(ඒ.ජේ.ඒ. අබේනායක)

ගුරු පත්වීම් ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් පසුගිය 2 වැනිදා බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවේදී තියුණු ආයුධයකින් කපා පොලිස් නිලධාරීන් තිදෙනකුට තුවාල සිදුකළැයි කියන පුද්ගලයා යුද හමුදා බුද්ධි අංශ නිලධාරියකු බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි තලංගම පොලිසිය කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (10දා) දැනුම් දුන්නේය.

එම පුද්ගලයා සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා විමර්ශනවල ප්‍රගතිය තම අධිකරණයට වාර්තා කරන ලෙසට පොලිසියට නියෝග කළ කඩුවෙල මහෙස්ත්‍රාත් චාගිමා විජේබණ්ඩාර මහත්මිය පොලිස් රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාසල් සංවර්ධන නිලධාරින් සිවු දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට ද නියෝග කළාය.

එකී උද්ඝෝෂණය පැවැත්වෙන අතරතුරදි විරෝධතාකරුවන් ප්‍රධාන මාර්ගයෙන් ඉවත් කිරීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන් තිදෙනකුට කැපුම් තුවාල සිදුවී තිබූ අතර එකී කැපුම් තුවාල සිදුකළ පුද්ගලයා හඳුනාගත් උද්ඝෝෂකයන් තියුණු ආයුධයක් සමගම ඔහුව ග්‍රහණයට ගෙන පොලිසියට භාරදී තිබිණි. එම පුද්ගලයාගෙන් ප්‍රකාශයක් සටහන් කිරීමට පියවර ගත් බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. නිල් පැහැති කමිසයකින් සැරසී සිටි එම පුද්ගලයා එදින උදෑසන සිටම පොලිස් නිලධාරීන් සමග පැමිණ සිටි අයකු බවත් සිය සේවාදායකයා එකී අපරාධය සිදුකළ බවට ඒත්තු ගැන්වීම සඳහා එම පුද්ගලයා පොලිස් නිලධාරීන්ට කැපුම් තුවාල සිදුකර ඇති බව පෙනී යන බවත් සැකකාර සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට පැවැසූහ.

එම පුද්ගලයා මේ දක්වා සැකකරුවකු ලෙස නම් කිරීමට පොලිසිය පියවර ගෙන නොමැති බවද පෙන්වා දුන් විත්තියේ නීතිඥවරු සිය සේවාදායකයා ඇපමත මුදාහරින ලෙසට හඳුනාගැනීමේ පෙරෙට්ටුවෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියහ.

නීතිඥ ශාන් රණසූරිය, දසුන් නාගස්හේන, කමල් විජේසිරි යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සැකකාර පාසල් සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටියේය. හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සංවිධානය කර ඇත්තේ ද පොලිසිය බවත් එහි සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් කර ඇත්තේද පොලිස් නිලධාරීන් පිරිසක් බවත් පවසමින් හඳුනාගැනීමේ පෙරෙට්ටුව සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් ඉදිරිපත් කළ විත්තියේ නීතිඥවරුන් එකී හඳුනාගැනීමේ පෙරෙට්ටුව සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වයට කිසිදු විශ්වාසයක් නොමැති බවද අධිකරණයට පෙන්වා දුන්නේය.
@Divaina


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *