අසාද් නැති සිරියාවට කුමක් වෙයි ද?
(රජිත බස්නායක)
පසුගියදා ඊශ්‍රායලයට මෙන්ම අමෙරිකා එක්සත් ජනපදයට ද යම් ආකාරයේ සතුටුදායක පණිවිඩයක් ලැබුණි. එයට හේතුව වූයේ මෙතෙක් වසර පනහකට අධික කාලයක් සිරියාව පාලනය කළ අයෝමය හස්තයක් බඳු අසාද් පවුල් පාලනය අතුගා දැමීමට එරට කැරලිකරුවන් සමත්වීමත් සමඟිනි. එම සතුටුදායක ආරංචිය කෙසේ වෙතත් පසුගිය 9 වැනිදා අමෙරිකාව විසින් සිරියාවට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට සමත්විය. ඔවුන් ඒ ආකාරයෙන් එම ප්‍රහාරය එල්ල කිරීමට හේතු සාධක ලෙස ඉදිරිපත් කළ කාරණය වූයේ සිරියානු රාජ්‍ය පාලනය බිඳ වැටීමත් සමඟම එරට තුළ ඉස්ලාමීය අන්තවාදී ක්‍රියාකාරකම් වැඩිවීමේ ප්‍රවණතාවක් සිදුවිය හැකි බවයි. එමෙන්ම ඔවුන් ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබුවේ ද අල්කයිඩා සංවිධානයට සමීප සම්බන්ධතා පවත්වනු ලබන ත්‍රස්ත කොටස් ඒකරාශීව කටයුතු කරන ස්ථානයන් වෙත බවයි.
මේ අතරවාරයේ ඊශ්‍රායලය ද පවසා සිටින්නේ සිරියාවේ මේ මොහොත වන විට පවතින තත්ත්වය යටතේ තම ආරක්ෂාව සහතික කරගැනීම වෙනුවෙන් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවයි. මේ බව බෙන්ජමින් නෙතන්යාහු පවසා සිටියේ අගමැති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
ගුවන් ප්‍රහාර
එමෙන්ම “සිරියාවේ නැඟී එන නව බලවේග සමඟ අසල්වැසි සබඳතා සහ සාමකාමී සබඳතා ඇති කරගත හැකි නම්, එය අපගේ කැමැත්තයි. නමුත් එසේ නොකළහොත්, ඊශ්‍රායල රාජ්‍යය සහ ඊශ්‍රායල දේශසීමාව ආරක්ෂා කිරීමට අවශ්‍ය ඕනෑම දෙයක් අපි කරන්නෙමු” යනුවෙන් ද ඔහු පැවසීය. මේ අතර ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ සිය ආරක්ෂක හමුදාව විසින් සිරියාවේ බලසම්පන්න අවි විනාශ කරන බවත් භූමියේ සිට එල්ල කරන ගුවන් මිසයිල, කෲස් මිසයිල, ගුවන් ආරක්ෂණ පද්ධති, දිගු දුර රොකට් සහ වෙරළබඩ මිසයිල ද විනාශ කරන බවයි. එමෙන්ම ඊශ්‍රායලය ප්‍රකාශ කරන අයුරින් ගුවන් ප්‍රහාර ඉදිරි දිනවලදීත් පවතිනු ඇති බවත් ඔවුන් විසින් සිරියානු අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට කිසිදු මොහොතක අවශ්‍යතාවක් නැති බවයි. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ තම පුරවැසියන් ආරක්ෂා කිරීම ගැන පමණක් සැලකිලිමත් බව දැක්වීමට කටයුතු කරන බවයි. එයට උදාහරණ ලෙස ඔවුන් තවදුරටත් දක්වන්නේ ඉතිරිව ඇති රසායනික අවි හෝ දිගු දුර මිසයිල සහ රොකට් වැනි අවි පද්ධතිවලට ප්රහාරයන් එල්ලකරනු ලබන්නේ ඒවා අන්තවාදීන්ගේ අතට පත්වීම වැළක්වීමට යන්නයි.
කෙසේ වෙතත් මේ වන විට ඊශ්‍රායලය, සිරියාව වෙත ගුවන් ප්‍රහාර පමණක් සියයකට වඩා එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය ද සඳහන් කරයි. එම මාධ්‍ය මගින් දක්වා ඇත්තේ රසායනික අවි සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන ස්ථානයන් පවා මෙම ප්‍රහාරයට ඇතුළත්ව ඇති බවයි. ඊශ්‍රායලය විසින් සිරියාවට එල්ල කළ මෙම ප්‍රහාරය මෙතෙක් ඉතිහාසය තුළ එල්ල කළ විශාලතම ප්‍රහාර මාලාව ලෙසින් සඳහන්ය. ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට වසර පනහක පමණ කාලයක් තුළ සිරියාවේ ස්ථාපිත සියලු කඳවුරුවලට ගුවන් ප්‍රහාර එල්ල කළ ප්‍රථම අවස්ථාව වන්නේ මෙයයි. ඉලක්ක තුන්සිය පනහකට පමණ ප්‍රහාර එල්ල කර ඇති අතර ගුවන් ආරක්ෂණ පද්ධතියකට ද හානි සිදුව ඇති බව BBC පුවත් සේවය සඳහන් කරයි. ගුවන් ප්‍රහාර ඒ ආකාරයට සිදුවන විට පසුගිය සඳුදා දිනයේ ලටාකියාහි වරායන්ට පහර දුන් බවත්, එහිදී යාත්‍රා 15ක්, නැව්, තටාකගත කර තිබූ බව සඳහන් වන අතර BBC විසින් වීඩියෝ දර්ශන මුදාහැර තිබුණේ නැව්වලට සහ වරායේ කොටස්වලට විශාල හානියක් පෙන්නුම් කරන දර්ශන ද සමඟිනි.
කවර අයුරින් වුවද අමෙරිකාවටත් වඩා ඊශ්‍රායලයට සිරියාව වෙත මෙවැනි ආකාරයේ ප්‍රහාරයක් එල්ල කිරීමට මග පෑදුණේ වසර පනහකටත් වඩා පැවති එකම පවුල් පාලනය බිඳී යාමත් සමඟිනි. බෂාර් අල්-අසාද් සිරියාව පාලනය කිරීමට අත තැබුවේ 2000 වසරේ සිටය. ඔහු බලයට පැමිණීමට පෙර සිරියාවේ බලය අතැතිව සිටියේ ඔහුගේ පියා වන හෆීස්ය. සිරියාවේ එකී පාලන බලය බිඳ දැමීමට සමත් වූ පුද්ගලයා වූයේ අබු මොහොමඩ් අල්-ජොලානිය.
1982 දී සිරියාවේ උපත ලද ජොලානි 2003 වසරේදී එක්සත් ජනපදයේ ආක්‍රමණයෙන් පසු ඉරාකයේ අනෙකුත් විදේශීය සටන්කරුවන් සමඟ එක්වූ අතර පසුව අමෙරිකානු හමුදාව විසින් ඔහුව රඳවා ගනු ලැබූ බව ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය සඳහන් කර සිටියි. මේ අතර 2011 වනවිට සිරියාවේ සිවිල් යුද්ධයේ දරුණුතම අවධියේ ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍යයේ (ISI) නායකත්වය ගෙන කටයුතු කළ අල්-ජුලානි, අල්-කයිඩාවේ සිරියානු ශාඛාව වන ජබාත් අල්-නුස්රා පිහිටුවීම සඳහා අල්-ජුලානි පිටත් කර හැරියේය. 2013 වසර දක්වා ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍යය සමඟ සන්ධානයක් පවත්වාගෙන ගිය අතර කලකට පසු අල්-ජුලානි ජිහාඩ් මතවාදයෙන් මිදී යෑමට කටයුතු කළේය.
එහිදී වසර දෙකකට පමණ පසු එම ගැටුම්කාරීත්ත්වයන් වර්ධනය වන විට නුස්රා පෙරමුණ විසුරුවා හැර එය ISI සමඟ ඒකාබද්ධ කර ISIS පිහිටුවීමට බැග්දාඩි කළ ඉල්ලීම ජොලානි විසින් ප්‍රතික්ෂේප කළේය. ඒ වෙනුවට ඔහු පසුව ISIS සංවිධානයෙන් බිඳීගිය අල්කයිඩාවට පක්ෂපාතී වන බවට පොරොන්දු විය. නුස්රා පෙරමුණ පසුව සිරියාවේ, අල්කයිඩා සමඟ සම්බන්ධව පසුව අසාද්ට එරෙහි සටනේදී ISIS ආධිපත්‍යය වෙනුවෙන් සටන් කරන්නට විය.
නමුත් අවසානයේදී 2017 වසර වන විට ජොලානි අල්කයිඩා සංවිධානය සමඟ පැවති හවුල් සම්බන්ධතාවන් නවතා දැමූ අතර, ඔහුගේ සංවිධානය Hayat Tahrir al-Sham (HTS) ලෙස නැවත නම් කරන ලදි. ඇමරිකා එක්සත් ජනපදය විසින්, HTS අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම් සමඟ හවුල්ව කටයුතු කරන හෙයින් 2018 වසරේදී ජොලානිගේ හිසට ඩොලර් මිලියන 10ක වටිනාකමක් ද ලබාදුනි. පසුගියදා ඔහු සමඟ පැවති රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කරනු ලැබුවේ තම හමුදා සාර්ථක වුවහොත්, “සිරියාව, පාලන ආයතන රාජ්‍යයක් බවට පරිවර්තනය වනු ඇති” බවයි.
මේ වන විට මුළුමහත් ලෝකයම බලා සිටින්නේ අසාද් පවුලේ අර්ධ ශතක පාලනය අවසන් වීමෙන් පසු සිරියාවේ දේශපාලන පසුබිම හැඩගැසෙන්නේ කවර ආකාරයට දැයි යන්නය. කෙසේ වෙතත් අසාද් පාලනය රුසියාව සමඟ මනා සම්බන්ධතාවක් පවත්වා ගනිමින් සිටියහ.
රුසියානු සම්බන්ධතා
රුසියාව, අසාද් ආණ්ඩුව සමඟ දශක ගණනාවක් දිගු සබඳතාවක් පවත්වා ඇති අතර සිවිල් යුද්ධයට පෙර එහි හමුදා කඳවුරු පවා ස්ථාපිත කර තිබුණි. රුසියානු ජනාධිපතිවරයා තම සෙබළුන් සිරියාවේ සිටීමත්, අසාද්ට සහාය දැක්වීමත්, කලාපයේ බටහිර බලයට සහ ආධිපත්‍යයට අභියෝග කිරීමටත් යොදා ගන්නට විය. 2015 දී රුසියාව ගුවන් මෙහෙයුමක් දියත් කළ අතර අසාද් පාලන තන්ත්රයට සහාය දැක්වීම සඳහා දහස් ගණනක් හමුදාව ද එහි යැවීමට ඔවුන් කටයුතු කර තිබුණි. ඔවුන් සිදු කළ මේ කර්තව්‍යය වෙනුවෙන් රුසියාවට වසර 49ක බද්දට ,ගුවන් කඳවුරක් සහ නාවික කඳවුරක් ලැබිණි. ඔවුනට එය මහඟු සම්පතක් වූ අතර මෙම කඳවුරු අප්‍රිකාවට සහ ඉන් පිටත හමුදා කොන්ත්‍රාත්කරුවන් මාරු කිරීම සඳහා නැඟෙනහිර මධ්‍යධරණී මුහුදේ තීරණාත්මක මධ්‍යස්ථානයක් ලෙසින් ඔවුන් භාවිතා කරන්නට විය. කෙසේ වෙතත් 2022 සිට යුක්රේනයේ යුද්ධයකට සටන් කිරීම සඳහා අසාද්ගේ සෙබළුන් යොමු වූ අතර, එම වසරේ නොවැම්බර් අග සහ දෙසැම්බර් මුලදී කැරලිකාර කණ්ඩායම්, සිරියානු හමුදාව ශීඝ්‍රයෙන් පරාජය කිරීමට දායක විය. මේ වන විට සිරියානු නායකයා දමස්කස් නගරයෙන් පලා යෑමෙන් පසු ඔහුගේ පවුලේ අයට මොස්කව්හි සරණාගතභාවය ලබා දී ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කරන බව BBC පුවත් සේවය සඳහන් කර සිටියේය.
කවර අයුරින් වුවද සිරියාවේ අසාද් පාලනය බිඳ වැටීමත් ඉරානයත්, රුසියාවත් සිදුකරනු ලැබූ ක්‍රියාවන් ද ඊශ්‍රායලයේ පහරදීම සහ ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත්වීම වැනි කරුණු කාරණා පිළිබඳව විමසිලිමත් වීමට නම් තවත් කලක් බලා සිටීමට සිදුවනු ඇත.
@දිනමිණ