හිරුණිකා, ඩලස් නැතුව සජබ ජාතික ලැයිස්තුව සම්පූර්ණ කරයි
සමගි ජන බලවේගයේ පුරප්පාඩු වී තිබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 4 සඳහා නම් මැතිවරණ කොමිසමට ඊයේ (12) ඉදිරිපත් කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණය නිම වී මාසයකට ආසන්න කාලයක් යන තෙක් ජාතික ලැයිස්තුවට නම් ඉදිරිපත් කිරීමට ප්‍රමාද වූ සමගි ජන බලවේගය සුජීව සේනසිංහ, මනෝ ගනේෂන්, නිසාම් කාරියප්පර් හා මුත්තු මොහොම්මදු යන අයගේ නම් මෙසේ මැතිවරණ කොමිසමට යොමු කර තිබේ.
සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5ක් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිමි වූ අතර ඉන් එක් ධුරයක් සඳහා මීට පෙර පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නම ඉදිරිපත් කෙරිණි. අනෙකුත් ධුර 4 සඳහා නම් ඉදිරිපත් කිරීම මාසයකට ආසන්න කාලයක් ගත වූ අතර එම කාලය තුළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නම ද එක් ධුරයක් සඳහා නිර්දේශ වී තිබිණි. නමුත් ඊයේ (12) ඉදිරිපත් කර ඇති නාම ලේඛනයේ ඇගේ නම සඳහන් වූයේ නැත. මේ අතර සමගි ජන බලවේගයට සහාය දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතාගේ නම ද එයින් ඉවත්ව ඇත.
මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පන් මහතාගේ නම මැතිවරණ කොමිසමට ඉදිරිපත් කිරීම වළක්වන වාරණ නියෝගයක් කොළඹ දිසා අධිකරණය ඊයේ (12) නිකුත් කර තිබියදී සමගි ජන බලවේගය එම නම ද ඇතුළත් කරමින් නම් ලැයිස්තුව මැතිවරණ කොමිසටම ඉදිරිපත් කර තිබිණි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට කොළඹ දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.