Latestදේශීය

මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම තුරන් කරනවා – එරංග ගුණසේකර

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත්, ලබන වසරේ පටන් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරා ගැනීම වෙනුවෙන් සියලු පියවර ගන්නා බවත්, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසුවේය.

මත්ද්‍රව්‍ය නිවාරණය කිරීම වෙනුවෙන් රට පුරා විශේෂ වැඩපිළිවෙලක් ලබන වසරේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වග ද, එය මාධ්‍ය සංදර්ශනයක් නොවන බවත්, මේ සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ අවංක මැදිහත්වීම අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව නගරය මත්ද්‍රව්‍ය උවදුර වැඩිම නගරයක් බවත්, පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වීම හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනය අඩාල වී ඇති බවත්, ඔවුන්ව බේරා ගැනීම රජය සතු වගකීමක් බවත්, ලබන වසරේ දී මත්ද්‍රව්‍ය උවදුර කොලොන්නාව නගරයෙන් සහමුලින්ම ඉවත් කළ යුතු බවත්, නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා සේම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, සැපයුම්කරුවන් සොයා වැටලීම් සිදුකර ඔවුන්ට එරෙහිව ගන්නා නීතිමය ක්‍රියාවලිය අවසන් වන තෙක් පසුවිපරම් සිදු කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

විශ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ගන්නා නීතිමය ක්‍රියාමාර්ග වලදී කිසිඳු දේශපාලනික මැදිහත්වීමක් නොකරන බව ද වැඩිදුරටත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (26) කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ය. එම අවස්ථාව සඳහා විපක්ෂය නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම්වරයා, ග්‍රෑන්ඩ්පාස්,ගොතටුව පොලිස් ස්ථානයන්හි ස්ථානාධිපතිවරුන් සහ වැල්ලම්පිටිය, මුල්ලේරියාව ස්ථානාධිපති වෙනුවට එහි පොලිස් නිළධාරීන් දෙදෙනෙකු ද, ගොතටුව සහ කොලොන්නාව ප්‍රධාන සෞඛ්‍ය නිළධාරීවරයා, රාජ්‍ය ආයතනයන් හි නිළධාරීන්, ග්‍රාමසේවා නිළධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.a

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා නිළධාරීන් හමුවේ පැවසුවේ, ප්‍රජා පොලිස් කමිටු ප්‍රතිව්‍යුහගත කිරීමට අවධානය යොමුව ඇති බවත්, ජනවාරි මුල් සති දෙක තුළ දී එම කටයුතු අවසන් කළ යුතු බවත් ය.

ආපදා කමිටු තවදුරටත් බලාත්මක කරමින් ගංවතුර පාලනය කිරීම සඳහා පූර්ව සූදානම්වීම් සැලසුම් කළ යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. එම කටයුතු ද ජනවාරි පළමු සති දෙක තුළ අවසන් කිරීමට නියෝජ්‍ය අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

එම කමිටු රැස්වීමේදී සේදවත්ත – අඹතලේ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම, අඹතලේ වැව පාර ආශ්‍රිත ජල සම්පාදන මණ්ඩලය මගින් කරනු ලබන නව ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රජාව මුහුණදී ඇති ගැටලු පිළිබඳවත්, ප්‍රදේශයේ බෝවන රෝග හා බෝ නොවන රෝග සම්බන්ධ වර්තමාන තත්ත්වය සහ ප්‍රජා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවත්, අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳවත් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු විය. මෙහිදී පැමිණ සිටි ජනතාවට තමන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමේ අවස්ථාව ද ලැබුණු අතර, කමිටුවට ලිපි මගින් යොමු කර තිබූ ජනතාවගේ ගැටලු පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සැලකිල්ලට ගත්තේය.

මෙම වසර තුළින් කොලොන්නාව ගොතටුව ප්‍රදේශ ආශ්‍රිතවත් ඩෙංගු රෝගීන් 139 දෙනෙකු වාර්තා වී ඇති අතර, පසුගිය වර්ෂයට සාපේක්ෂව එහි යම්කිසි අඩුවීමක් පෙන්නුව ද ඩෙංගු අවදානම තුරන්ව ගොස් නොමැති ය. එමෙන් ම දෙසැම්බර් මාසය තුළදී පමණක් මී උණ රෝගීන් ද සිව් දෙනකු වාර්තා වී ඇති බවත් මෙහිදී අනාවරණය විය. කැළි කසල බැහැර කිරීම්, වතුර රැඳෙන ස්ථාන පිරිසිදු කිරීම්, අපජලය නිසියාකාරව බැහැර කිරීම් පිළිබඳව ගත යුතු අදාළ පියවර ගන්නා ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළ ප්‍රමණවත් තරම් ඖෂධ තිබේ ද යන්න පිළිබඳව ද අමාත්‍යවරයා විමසීම් කළේය. එහිදී ගොතටුව, කොලොන්නාව ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේ දැනට ප්‍රමාණවත් තරම් ඖෂධ පවතින බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *