Latestදේශීය

සීගිරියේ සංවර්ධනයට කොරියාවෙන් විශේෂ ව්‍යාපෘතියක්

ලෝක උරුමයක් වන සීගිරියේ සංරක්ෂණ කටයුතු පුළුල් කර සංචාරක ආකර්ෂණය වැඩි කිරීම සඳහා කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (KOICA) විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති බව මාතලේ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මීට අදාළ සාකච්ඡාවක් ඊයේ (27) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේ දී පැවැත්විණි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිතව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධීක්ෂණය මත යෝජිත මෙම ව්‍යාපෘතිය මඟින් සීගිරි පර්වතයට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරීම, විකල්ප ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීම හා  සීගිරි කෞතුකාගාරය, ආපන ශාලාව සහ ප්‍රවේශ පත්‍ර කවුළුව ආදිය සංවර්ධනය කිරීම යනාදී වශයෙන් යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ.

සමස්ත වටිනාකම රුපියල් බිලියන 2.4 ක්  වන මෙම ව්‍යාපෘතිය සඳහා  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල සහ කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (KOICA) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට ද යෝජනා  වී තිබේ.

මේ සඳහා කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (KOICA) නියෝජනය කර එහි දේශීය අධ්‍යක්ෂ යුන්ග්ජින් කිම් (Myungjin Kim), නියෝජ්‍ය දේශීය අධ්‍යක්ෂ යොන්ග් වන් කිම් (Yong Whan Kim) අමාත්‍යංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු,  මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ, බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් අනිල් අබේගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්වූහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *