Latestදේශීය

රනිල් අධිකරණයට කැඳවයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට සම්බන්ධව, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සාක්ෂිකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු හිටපු කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙක් නම් කර තිබේ.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 350කට ආසන්න සංඛ්‍යාවක් නම් කර ඇත.

ඒ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ යන හිටපු කැබිනට් අමාත්‍යවරුන් ඇතුළත්ය.

ඊට අමතරව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමක්ද ඇතුළත් වේ.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා (26) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.

මෙම නඩුව මහජන වැදගත්කමක් සහිත නඩුකරයක් සේ සලකා එය විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් මීට පෙර අගවිනිසුරු වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අගවිනිසුරු විසින් නම් කර තිබේ.

එම විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබුණි.

හියුමන් ඉමියුනොග්ලොබින් සහ රිටොප්සිමැප් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 13ක් එල්ල කර තිබේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *