මිස්ටර් 10% ගැහිල්ල කරලියට
බැසිල් රාජපක්ෂ අණසක පතුරුවා ගෙන සිටි 2015ට පෙර සමයේ රුපියල් කෝටි 103 අධික දූෂණය නැමැති වරද සිදු කර ඇති බව තහවුරු වී තිබේ.
එය තහවුරු වී තිබෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පත් කළ බරපතළ වංචා දූෂණ සොයා බැලීමේ කොමිෂන් සභාවේ විමර්ශනවල දී ය. එම විමර්ශන අනුව සකස් කළ අවසන් වාර්තාවේ අඩංගු කරුණු මගින් නිශ්චිතව ම බැසිල් රාජපක්ෂ චූදිතයෙකු ලෙස නම් කර තිබේ. ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතිත්වයෙන් යුතුව පත් කර තිබූ පංච පුද්ගල කොමිසමෙන් බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් හෙළි කර තිබූ කරුණු කිහිපයක් පහත දැක්වේ.
අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ගුවන් හමුදාවේ යානා 2010 ජූනි 02 සිට 2014 නොවැම්බර් 07 දින දක්වා යොදා ගෙන තිබිණි. ඒ සඳහා මග නැගුම ව්‍යාපෘතියෙන් රුපියල් 155,451,612ක් ගෙවා තිබිණි. එමෙන් ම, ජනාධිපති කාර්යාලයට අයත් අධි සුඛෝපභෝගී ආරක්ෂිත රථ 03ක් සහ සාමාන්‍ය වාහන 11ක් වශයෙන් සමස්ත වාහන 14ක් භාවිතා කර රුපියල් 612,000,000ක් මහජන මුදල් අවභාවිතා කර ඇත.
ඔහු භාවිතා කළ වාහන 06ක් නිල වශයෙන් තක්සේරු කර නොතිබූ බව එම කොමිෂන් සභා වාර්තාවෙන් වැඩි දුරටත් හෙළි කර ඇත. ඊට අමතරව, 2010 ජනවාරි 10 වෙනි දින සිට එනම් යුද්ධය නිමා කිරීමෙන් පසුව, 2015 ජනවාරි 10 වෙනි දින දක්වා නාවික හමුදාවේ සොල්දාදුවන් 64ක් සහ යුද හමුදාවේ 84 දෙනෙකු පෞද්ගලික ආරක්ෂාවට යොදවා ගෙන තිබිණි. ඔවුන් වෙනුවෙන් වැටුප් සහ දීමනා සඳහා ප්‍රභූ ආරක්ෂක දීමනා ලෙස රුපියල් 264,370,800 ක මහජන මුදල් වැය කිරීමෙන් දූෂණය නැමැති වරද සිදු කර ඇතැයි කොමිෂන් සභා වාර්තාවෙන් පැහැදිලිව දක්වා තිබේ.
නිල වශයෙන් කැබිනට් ඇමතිවරයෙකු සඳහා ලබා දී තිබෙන වරප්‍රසාද ඉක්මවා රාජපක්ෂ පවුලේ බලය යොදා ගනිමින් මහජන ධනය අවභාවිතා කළ ආකාරය විස්තර සහිතව කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර තිබේ.
@Lanka Truth