Latestදේශීය

කළුතර නගර සංවර්ධන සැලැස්ම

බස්නාහිර සහ  දකුණු පළාත අතර ප්‍රධාන නගරය ලෙස කළුතර නගරය සංවර්ධනය කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබුණි.

මෙරට කාර්මික සහ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ඉහළ විභවතාවක් සහිත කළුතර නගරය පුළුල් සංවර්ධනයකට ලක් කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කළුතර නගර සංවර්ධන සැලැස්ම කඩිනමින් ක්‍රියාවට නැංවීමේ වැදගත්කම මෙහිදී සියලු පාර්ශ්වයන්ගේ අවධානයට ලක් විය.

ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමෙන් අනතුරුව, ප්‍රධාන නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීම කාර්යක්ෂම කර ගැනීමත්, එයින් වර්තමානයේ කළුතර නගරය ආශ්‍රිතව හඳුනා ගන්නා ගැටලු සඳහා විසඳුම් ලබා දීමත් පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර, එහිදී සියලු ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳවද අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය කළ නිවේදනයේ සඳහන් වේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයෙහි වඩා ආසන්න ස්ථානයකින් කළුතර නගර පිවිසුමක් ඇති කිරීම සහ කළුතර නගරයට වන පිවිසුම් මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම, කළුතර නගරය කලාප ලෙස වෙන් කර සංවර්ධනය කිරීම යන කරුණු පිළිබඳ මෙම නගර සංවර්ධන සැලැස්ම යටතේ විශේෂ අවධානයක් යොමු කෙරේ.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පත්මකුමාර,  කළුතර මහ නගර සභාවේ නගරාධිපති ධනුජ් සෝමරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, කළුතර දිස්ත්‍රික් ලේකම් ජී. එම්. ජනක කේ. ගුණවර්ධන, කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.ඒ.පී.පී.චන්ද්‍රසේකර, කළුතර නාගරික කොමසාරිස් පියුමාලි කුලරත්න යන මහත්ම මහත්මීහුද, නාගරික සංවර්ධන අධිකාරියේ සහ නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරින් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *