Latestදේශීය

මෝටර් රථවාහනවලට ණය දෙන්නේ මෙහෙමයි

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය ලීසිං ආයතන විසින් මෝටර් රථවාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද ගැන උපදෙස් දෙමින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව මාර්ගෝපදේශයන් නිකුත් කර තිබේ.

මීට පෙර 2018 පෙබරවාරි 08 දින නිකුත් කරන ලද මාර්ගෝපදේශයන් යාවත්කාලීන කරමින් පෙරේදා (ජූලි17) මේ නව මාර්ගෝපදේශයන් මහ බැංකු අධිපතිවරයා විසින් නිකුත් කර ඇත.

මේ අනුව 2018 වසරේ මාර්ගෝපදේශවල දැක්වුණු ආකාරයේ ඉලෙක්ට්‍රික්, හයිබ්‍රිඩ් හා වෙනත් යනාදී වශයෙන්, බලශක්ති ප්‍රභවය අනුව කර තිබූ වර්ගීකරණයන් මෙම නව මාර්ගෝපදේශයෙන් ඉවත් කර තිබේ.

2018 මාර්ගෝපදේශයන් අනුව ඉලෙක්ට්‍රික් කාණ්ඩය යටතේ වාහනයේ වටිනාකමින් 90% ක් දක්වා මූල්‍ය පහසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව, වාණිජ වාහන වෙනුවෙන් සියයට 80 ක්, මොටර් කාර්, SUv සහ වෑන් රථ සඳහා සියයට 60 ක් දක්වා ද, ත්‍රීවීල් සඳහා සියයට 50 ක් දක්වා සහ වෙනත් වාහන සඳහා සියයට 70 ක් දක්වා අඩු කර ඇත.

එසේම ඉලෙක්ට්‍රික් නොවන වාණිජ වාහන සඳහා ද මෙතෙක් ප්‍රවේශය හිමිව තිබූ සියයට 90 ක මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව සියයට 80 ක් දක්වා අඩුකර තිබෙන අතර, මෙතෙක් ඉලෙක්ට්‍රික් නොවන මොටර් කාර්, SUv සහ වෑන් රථ සඳහා තිබුණු සියයට 50 ණය සීමාව සියයට 60 ක් දක්වා ඉහළ දමා ඇත. එමෙන්ම ඉලෙක්ට්‍රික් නොවන ත්‍රීවීල් රථ සඳහා, වටිනාකමින් සියයට 25 ක් දක්වා පමණක් මෙතෙක් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට තිබුණු ඉඩ ප්‍රස්ථාව ඉකුත් 18 දින සිට සියයට 50 ක් දක්වා පුළුල් කර තිබේ.

2018 වසරේ මාර්ගෝපදේශයට අනුව හයිබ්‍රිඩ් මොටර් කාර්,SUv සහ වෑන් රථ සඳහා සියයට 70 ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට දී තිබූ අවස්ථාව, එම කාණ්ඩය ඉවත් කිරීමත් සමඟින් පොදුවේ සියයට 60 ක් දක්වා අඩු වී ඇත.

ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි නොකළ වාහන සහ පළමු ලියාපදිංචියෙන් පසු වසරකට වඩා අඩු කාලයක් භාවිතයට ගෙන ඇති සියලු වාහන වෙනුවෙන් මෙම නියමයන් බලපැවැත්වෙනු ඇත. මේ අතර ජූලි 18 දිනට පෙර ණයවර ලිපි විවෘත කර ඇති මෙරට ලියාපදිංචි නොකළ වාහන වෙනුවෙන් බලපැවැත්වෙන සංක්‍රාන්ති විධිවිධානයන් ද මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර ඇත.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *