Latestදේශීය

අපි මැරිලා ඉපදුනේ නැහැ – හරිනි අමරසූරිය

රජයේ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පටු දේශපාලන ප්‍රචාර ගෙනයන පිරිස් වෙත දැඩි ප්‍රතිචාර දැක්වූ අගමැති සහ අධ්‍යාපන ඇමති ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළේ වසර ගණනාවක් පුරා මෙම ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අරගල කළ බවත් ඒ අනුව සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලක් ලෙස මෙම යෝජනා ඉදිරිපත් කර ඇති බවත්ය.

විවිධ පිරිස් ගෙනයන විකෘත්ති සහ අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් කියා සිටියේ “අපි මැරිල ඉපදුනේ නෑ. මේ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා අරගල කර දැන් ඇවස්ථාව ලැබී තිබෙන පසුබිමක…” මේ යෝජනා ඉදිරිපත් කරන බවය. දරුවන්ගේ අධ්‍යාපනය පටු දේශපාලන අරමුණු සඳහා යොදා නොගන්නැයිද ඇය දැඩිව අවධාරණය කළාය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය,

“නව අධ්‍යාපන ප්‍රතිසංසකරණය හරහා සෞන්දර්යය, ඉතිහාසය සහ වෘත්තීය විෂයක් හැදෑරීම අනිවාර්ය කර තිබෙනවා. නමුත් මේ ජාතික වැඩ පිළිවෙල පිළිබඳ නිසි අධ්‍යයනයක් කරන්නේ නැතිව සමහර පාර්ශව අසත්‍ය ප්‍රචාර කරමින් ඉන්නවා ඉතිහාසය සහ සෞන්දර්යය විෂය ඉවත් කරලා කියලා. මේ විෂයන් ගැන විෂයේ ප්‍රවීණයන් සමග දින ගනනාවක් සාකච්ඡා කරලා. සෑම දරුවෙක්ටම ඉතිහාසය හා මානුෂිය ගුණාංග වර්ධනය වන සෞන්දර්යය විෂය හදාරන්න අවස්ථාවක් ලැබෙන ලෙස මේ ප්‍රතිසංස්කරණය සිදු කරලා තිබෙන්නේ. අපි දේශපාලනය කරමු නමුත් අධ්‍යාපනය සහ දරුවන් ⁣ඒකට ගාව ගන්න එපා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ එකි විෂයන් හදාරන්නේ කොහොමද කියන එක අපි කියලා තියෙනවා. තමාගේ ක්ෂේත්‍රයට විතරක් කොටු නොවන ගුණාත්මක දරුවෙක් කොහොමද නිර්මාණය කරන්නේ කියලා. අපි අවබෝධයෙන් මේ ප්‍රතිසංස්කරණය සිදු කරන්නේ.”

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිලිබඳ දැනුවත් වන සියලු දෙනා සත්‍ය තත්වය සමාජයට ගෙනියන ලෙස අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසීය.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නලින් හේවගේ, කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූස්ෆ්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුනආරච්චි, සංජීව රණසිංහ, රුවන් මාපලගම, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් පුෂ්පකුමාර, ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *