ටීනියා – පස් දෙනෙක්ගෙන් එක් අයෙක් ගොදුරු කරගත් වසංගතය
(රසාංජලී වාසල)
මේ වනවිට ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ටීනියා දිලීර ආසාදනය ව්‍යාප්ත වෙමින් පවතී. නව ගණනය කිරීම් වලට අනුව ශ්‍රී ලංකාවේ පහෙන් එකකටම ටීනියා ආසාදනය වැළඳී ඇති බව වෛද්‍යවරුන් පෙන්වා දෙති. ටීනියා සමාජයට නුහුරු නොවුණත් මේ වන විට එම ආසාදනයේ හැඩයේ හා රෝගී ලක්ෂණවල යම් යම් වෙනස්කම් නිරීක්ෂණය කළ හැකිය. මේ දිනවල ටීනියා ආසාදනය වසංගතයක් මෙන් ව්‍යාප්ත වී යෑම සමාජ ව්‍යසනයක් බවට පත්ව තිබේ.
ටීනියා හෙවත් රිංග්වර්ම් ඩෝමටොෆයිඩ් (Dermatophyte) නම් දිලීර කාණ්ඩය නිසා හටගනී. පණුකැවිලි රෝගය ලෙසත් හඳුන්වන නමුත් පණුවෙකුගෙන් ආසාදනය වන රෝගයක් නොවෙන බව පැහැදිලිය. රතුපාට රවුමක් මෙන් ඉතාමත් කුඩාවට සමෙහි ආසාදනය වීම ආරම්භ වේ. මෙම ලප මැද සුව වෙමින් රවුමට, මුද්දක් ආකාරයෙන් ව්‍යාප්ත වේ. ලපයේ දාරය අවට එසවීමක් සැරව හෝ වතුර බිබිලි දැමූ ස්වභාවයක් දකින්නට ලැබේ. මෙම ආසාදනයේ දී දැඩි කැසීමක් ඇති වන අතර කැසීම නිසා දිලීර ලපයේ මතුපිට සම කුඩු කුඩු මෙන් ගැළවී යෑමක් සිදු වේ. රාත්‍රී කාලයේදී මෙම දිලීර ආසාදනය සක්‍රීය වන අතර රාත්‍රී කාලයේ අධික කැසීම ප්‍රධානතම රෝග ලක්ෂණයකි. ශරීරයේ දහඩිය හා තෙතමනය නිරන්තරයෙන් රැඳෙන ස්ථානවල, මැරුණු සම ආශ්‍රිතව, හිසකෙස් අතර, නියපොතු අතර, ඇඟිලිකරු ආශ්‍රිතව, ඉකිලි – කිහිලි ආශ්‍රිතව, මෙන්ම ශරීරයේ නිතරම නැමෙන දිගහැරෙන ස්ථානවල ටීනියා ආසාදනය වැළඳීම සිදු වේ. මෙම ආසාදනය ශරීරගත වූ පසු ක්‍රමයෙන් ශරීරය පුරාම ව්‍යාප්ත වේ. කෙසේ නමුත් ටීනියා ආසාදනය ශරීරයේ පවතින ස්ථාන අනුව රෝග ලක්ෂණ හා ආසාදනයේ ස්වරූපයේ සුළු සුළු වෙනස්කම් දක්නට ලැබේ.

ටීනියා ආසාදනය වැළඳීමට වයස් සීමාවක් නැත. නමුත් කුඩා දරුවන්ට, ප්‍රතිශක්තීකරණය තරමක් හීන පුද්ගලයන්ට, දියවැඩියාව සහිත පුද්ගලයන්ට හා වකුගඩු ආශ්‍රිත රෝගීන්ට, අවයව බද්ධකළ පුද්ගලයන්ට තරමක් වේගයෙන් ශරීරය පුරාවටම ව්‍යාප්ත වීමට පවතින ඉඩකඩ වැඩිය. ටීනියා ආසාදනය ස්පර්ශය හරහා ව්‍යාප්ත වේ. සම ආශ්‍රිතව සෘජුවම ගැටෙන ඇඳුම් පැළඳුම් හිස් ආවරණ හුවමාරු කර ගැනීම, ආසාදිතයකුගේ ඇඳ කොට්ටඋර, පනාව ආදිය භාවිත කිරීම, හුවමාරු කරගැනීම නිසා ආසාදනය ව්‍යාප්ත වේ. ටීනියා සුරතල් සතුන්ටද ආසාදනය වන අතර ඔවුන්ගෙන්ද රෝගය ව්‍යාප්ත වීමක් සිදුවිය හැකිය. අධික උණුසුමක් සහිත දහඩිය දමන පරිසරයක වාසය කිරීම, සිල්ක් වැනි තෙතමනය උරා නොගන්නා ඇඳුම් පරිහරණය කිරීම, පෞද්ගලික පිරිසිඳුකම අවම වීම, සිරුර ස්පර්ශ වන සාමූහිකව ක්‍රියාකාරකම්වල යෙදීම මෙන්ම වැසිකිළි හරහාද මෙම රෝගය ව්‍යාප්ත වේ.
ටීනියා ආසාදනය සුවවීම සම්බන්ධයෙන් නිශ්චිත කාලසීමාවක් දැක්විය නොහැකිය. රෝගය ආසාදනය වී ඇති නම් සුදුසුකම් ලත් චර්ම රෝග වෛද්‍යවරයකු ලවා ප්‍රතිකාර ලබාගත යුතුය. ආසාදනය පැතිරී ඇති මට්ටම අනුව වෛද්‍යවරයා ප්‍රතිකාර නිර්දේශ කරනු ලබයි. එම ප්‍රතිකාර මාසයක් මාස කීපයක් හෝ සුව වනතුරුම නොකඩවා භාවිත කළ යුතුය. ඇතැම් විට සුව වී ඇති බවක් පෙණුනත්, දින කීපයකින් නැවතත් රෝග ලක්ෂණ මතුවීමක් ඇති විය හැකිය. විශේෂයෙන්ම ස්ත්‍රී රහස් ප්‍රදේශය, ඉකිලි ආශ්‍රිතව ටීනියා වැළඳී සුව වූ බවක් පෙනුණද ඔසප් වී දින කීපයකින් නැවතත් දිලීර ආසාදනය සක්‍රීය වීමට වැඩි ඉඩකඩක් පවතී. එමනිසා රෝගය නිශ්චිතව සුව වන තුරුම අවශ්‍ය ප්‍රතිකාර කිරීම සහ පෞද්ගලික පිරිසිඳුකම පවත්වා ගත යුතුය. රුධිර පරීක්ෂාවක් මගින් දිලීර ආසාදනය තවදුරටත් නොපවතින බව සැක හැර දැනගත් පසු ඖෂධ ගැනීම නතර කළ හැකිය.

ටීනියා දිලීරයට ඖෂධ භාවිතා කිරීමේදී සුදුසුකම් ලත් වෛද්‍යවරයකු ලවා නිර්දේශ කරගත් ඖෂධ භාවිත කළ යුතුය. ලබාදෙන ආලේපන ගැල්වීමේ දී දිලීර ආසාදිත ලපය වටා ඇති දාරයේ සිට අඟලක් ඈතට යනතුරු ආලේපන ගැල්විය යුතුය. ටීනියා වැළඳුන ආසාදිතයකුට සාමාන්‍ය කැසුම් ආලේපන ගැල්වීමෙන් ප්‍රතිඵලයක් නොවේ. විවිධ අත් බෙහෙත්, විශේෂයෙන්ම ස්ටෙරොයිඩ් සහිත ආලේපන භාවිතා නොකළ යුතුය. හිතුමනාපෙට ආලේපන ගැල්වීමෙන් ආසාදනය ව්‍යාප්ත වීමේ අඩුවක් නොවන අතර වෛද්‍ය උපදෙස් මත ලබා ගන්නා ඖෂධ වුවත් ප්‍රතික්‍රියා නොකිරීමට හෝ ප්‍රතික්‍රියා කිරීම ප්‍රමාද වීමට හේතුවක් විය හැකිය. මේ හේතු නිසාවෙන් නිසි වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගෙන කෙටි කාලයක් තුළ රෝගය සුව කර ගැනීමට උත්සාහ කළ යුතුය, ටීනියා ආසාදනයෙන් ආරක්ෂාවීම හා පාලනය කරගැනීම අප විසින්ම කළ යුත්තකි. නිවසක, ආයතනයක, සමූහයක් ලෙස එක්ව වාසය කරන ඕනෑම ස්ථානයක සාමාජිකයකුට වැළඳී ඇත්නම් සියලු දෙනාම පරීක්ෂාකාරීව වාසය කළ යුතුය. පෞද්ගලිකත්වය රැක ගැනීම මෙම රෝගී අවදානමින් මිදීමට ඇති පළමු ප්‍රතිකාරයයි. කීප දෙනකුටම ආසාදනය වී ඇත්නම් ආසාදිතයන් සියලුදෙනා එකවර ඖෂධ ගැනීම කළ යුතුය. පෞද්ගලික පිරිසිඳුකම පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය වේ. නිර්න්තරයෙන්ම දෑත් සේදීම, ආසාදිත ස්ථාන වියළිව තබා ගැනීම, එකම ඇඳුම දවසේ වැඩි කාලයක් ඇදීමෙන් වැළකීම, ඇඳුම් පැළඳුම්, ඇඳ රෙදි කොට්ට උර, හිස්වැසුම්, පනා ආදිය හුවමාරු කර ගැනීමෙන් වැළකීම මගින් ආසාදනයන් ව්‍යාප්ත වීම අවම කිරීමට හා ආරක්ෂා වීමට හැකියාව ලැබේ. දිලීර නාශක යොදා ඇඳුම් සේදීම සහ උණු වතුරින් තම්බා, අව්වේ වියළා ගැනීමෙන් ද මෙම දිලීරය විනාශ වේ. නයිලෝන් ඇඳුම් භාවිතය අවම කරමින් කපු ඇඳුම් භාවිතයට ගැනීම, පතුල් වැසෙන පාවහන් භාවිතා කිරීම මගින් ටීනියා දිලීර ආසාදනයෙන් තවදුරටත් ආරක්ෂා වීමට හැකිය. විශේෂයෙන්ම ආසාදිතයකු පොදු පිහිනුම් තටාක භාවිතා නොකිරීම, රූපලාවන්‍යාගාර භාවිතයේදී, පොදු වැසිකිළි භාවිතයේ දී ද සැලකිලිමත් විය යුතුය. ටීනියා රෝගය වැළඳුණු අයෙකු නිරන්තරයෙන්ම තවත් අයෙකුට එම රෝගය ආසාදනය නොවන ලෙස ක්‍රියා කිරීමට වගකීම් සහගත විය යුතු අතර සමාජීය ලෙස දෛනික කටයුතු වලදී වඩා ප්‍රවේශම් සහගත විය යුතුය.
@දිවයින