ඩොලර් බිලියනයක් ගෙවන්න එක්ස්ප්‍රස් පර්ල් සමාගමට නියෝග
(ඒ.ජේ.ඒ. අබේනායක)
හිටපු වරාය ඇමැති, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ සභාපති හා වරාය ලොක්කෝ මූලික අයිතිවාසිකම් කඩ කරලා
මාස 3 ක් ඇතුළත විත්තිකරුවන්ට නඩු පැවරීමටත් නියම කරයි
මෙයට වසර හතරකට පමණ පෙර එනම් 2021 මැයි 21 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී ශ්‍රී ලංකා මුහුදු තීරය තුළදී එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන එහි ගබඩාකොට තිබූ විෂ රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට එක්වීමෙන් සාගර පරිසරයට සිදුවූ හානියට හා ආර්ථික හානියට වන්දියක් ලෙස ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24දා) එම නෞකාව හිමි විදේශීය සමාගමේ දේශීය නියෝජිත සමාගමට නියෝග කළේය.
එකී වන්දි මුදල වසරක කාලයක් ඇතුළත මහා භාණ්ඩාගාරයට ගෙවා අවසන් කළ යුතු බවත් පළමු වාරිකය ලබන සැප්තැම්බර් 23 වැනිදාට පෙර ගෙවිය යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. එම නෞකාව අයත් විදේශීය සමාගම, දේශීය නියෝජිත සමාගම සහ දේශීය සමාගමේ වගකිව යුතු තනතුරු දරන පිරිස සමස්තයක් ලෙස සලකා තම අධිකරණය එකී නියෝගය කරන්නේ යැයි ද පෙන්වා දුන්නේය. එකී ඛේදවාචකය නිසා ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට, මත්ස්‍ය සම්පතට හා ධීවර ජනතාවට පමණක් නොව සමස්ත රටවාසීන්ට සිදුවී ඇති හානිය අතිවිශාල බව පැවසූ ශ්‍රේෂ්ඨාධිකරණය එකී ඛේදවාචකය වළක්වා ගැනීමට අවශ්‍ය විධිමත් පියවර නොගැනීමෙන් එවකට වරාය හා නාවික අමාත්‍යාංශ භාරව සිටි අමාත්‍යවරයා, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ සභාපතිවරිය, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වගකිවයුතු නිලධාරීන් ඇතුළු වගඋත්තරකරුවන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ද නිගමනය කළේය.
එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන එහි ගබඩා කොට තිබූ ටොන් ගණනක් වූ විෂ රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට එක්වීමෙන් ධීවර ජනතාව ඇතුළු රටේ බහුතර ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරනා තීන්දුවක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා, සරත් ඉද්දමල්ගොඩ පියතුමා, පරිසර යුක්ති කේන්ද්‍රය හා ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය ඇතුළු පාර්ශ්ව කීපයක් එක්ව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් සම්බන්ධයෙන් තීන්දුව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ල විසින් ඊයේ (24දා) නිකුත් කරන ලදී. යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි හා කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඬුල්ලේ එකඟතාව ඇතිව නිකුත් කළ පිටු 361 කින් සමන්විත එකී ඒකමතික තීන්දුව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශයට පත් කළාය.
ශ්‍රී ලංකාවට අයත් සාගර සම්පතට සිදුවූ විශාලතම රසායනික ද්‍රව්‍ය එකතුවීම සිදුවූ භාණ්ඩ ප්‍රවාහන නෞකාව කන්ටේනර් 1486 සහිතව ගමන් කර ඇති බවත් ඉන් කන්ටේනර් 81 කම ගබඩා කොට තිබී ඇත්තේ ඉතා විෂ සහිත රසායනික ද්‍රව්‍ය බවත් පෙන්වා දෙමින් තීන්දුව ප්‍රකාශ කිරීම ආරම්භ කළ අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය තම අධිකරණය හමුවට ඉදිරිපත් වූ සියලු ලේඛන, සාක්ෂි, දිවුරුම් ප්‍රකාශ හා කරුණු මැනවින් සලකා බැලීමෙන් අනතුරුව තම අධිකරණය මෙම තීන්දුව නිකුත් කරන බව කීවාය. ශ්‍රී ලංකා වරායේ හාබර් මාස්ටර්වරයා හා අනෙකුත් වගකිව යුතු පාර්ශ්ව එකී විනාශය වළක්වා ගැනීමට ගතයුතු නිසි පියවර ගෙන නොමැති බවත්, නැවේ කපිතාන්වරයා, කාර්යමණ්ඩලය, නැව් හිමිකරු සහ දේශීය නියෝජිතයා එකී ගින්න මැඩපැවැත්වීම හෝ ඒවා මුහුදු ජලයට එක්වීම වැළැක්වීමට නිසි පියවර ගෙන නොමැති බවත් අගවිනිසුරුවරිය එම තීන්දුව මගින් පෙන්වා දුන්නාය.
නෞකාව ගිනි ගනිමින් තිබියදීම ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළුවීමට අවසර දී ඇත්තේ යම්කිසි අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් මුල්කරගෙන බවට සමාජය තුළ පමණක් නොව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළද කතාබහට ලක්වී ඇති බව තම අධිකරණයට පෙනී යන්නේ යැයි එම තීන්දුව මගින් පෙන්වා දුන් අගවිනිසුරුවරිය ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ සිදුවූ අදහස් දැක්වීම්, පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය මගින් ඒ සම්බන්ධයෙන් පළකළ ප්‍රවෘත්ති ඇතුළු තොරතුරු රැස්කර මාස තුනක කාලයක් ඇතුළත නීතිපතිවරයාගේ උපදෙස් අනුව විමර්ශන සිදුකර තම අධිකරණයට විමර්ශන ප්‍රගතිය වාර්තා කරන ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළේය.
එකී විමර්ශන සඳහා නිසි මගපෙන්වීමක් ලබාදෙන ලෙසට එහිදී නීතිපතිවරයාට ද නියෝග කළ විනිසුරු මඬුල්ල අනාවරණය වන කරුණු අනුව අපරාධ නඩු විධාන සංග්‍රහය හා සෙසු අණපනත් යටතේ විත්තිකරුවන්ට එරෙහිව මාස තුනක් ඇතුළත නීතිමය පියවර ගත යුතු බවට ද නියම කළේය. ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර මාස තුනක කාලයක් ඇතුළත තම අධිකරණයට විමර්ශන ප්‍රගතිය වාර්තා කරන ලෙසට ද විනිසුරු මඬුල්ල සිය තීන්දුව මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ද නියෝග කළේය.
මෙම පෙත්සම් ඉදිරිපත් කිරීම සඳහා මෙතෙක් නඩු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ගෙවූ ඇස්තමේන්තු ගත නඩු ගාස්තු පෙත්සම්කරුවන්ට ගෙවන ලෙසට ද විනිසුරු මඬුල්ල සිය තීන්දුව මගින් නීතිපතිවරයාට නියෝග කළ අතර වන්දිහානි පූර්ණය කිරීම සඳහා ස්ථාපිත කර ඇති කොමිෂන් සභාවේ අරමුදලින් ගෙවීමට වග බලාගන්නා ලෙසට ද නීතිපතිවරයාට නියෝග කළේය. වන්දිපූර්ණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා තම අධිකරණය විසින් පත් කරනා බවත්, එකී කොමිෂන් සභාවේ සාමාජිකයන් සඳහා සුදුසුකම් සහිත එක් එක් ක්ෂේත්‍ර පිළිබඳ ප්‍රවීණයන් පත්කිරීමට වගබලාගන්නා ලෙසටත් විනිසුරු මඬුල්ල එම තීන්දුව මගින් නීතිපතිවරයාට නියෝග කළේය.
ඉදිරිපත්වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතර සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කළ නමුත් තම විනිසුරු මඬුල්ල විසින් ලබාදුන් නිර්දේශ, නියෝග ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන්නේ දැයි සලකා බැලීම සඳහා එම පෙත්සම් ලබන සැප්තැම්බර් 25 වැනිදා යළි කැඳවන බවද පෙන්වා දුන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය තමා විශ්‍රාම ගැනීමෙන් ඇතිවන පුරප්පාඩුව පිළිබඳ ඉදිරියේදී පත්වන අගවිනිසුරුවරයා දැනුවත් කිරීමට පියවර ගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරයාට නියෝග කළේය.
පරිසර යුක්තිය කේන්ද්‍රය, හේමන්ත විතානගේ, හර්මන් කුමාර සහ අරුණ රොෂාන්ත යන පෙත්සම්කරුවන් ගොනුකර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, වරාය හා නාවික අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය නාලක ගොඩහේවා, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කොට තිබිණි. සරත් ඉද්දමල්ගොඩ පියතුමා ඇතුළු පෙත්සම්කරුවන් නීතිඥ මංජුල බාලසූරිය මහතා සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ හිමාලි කුලරත්න මහත්මිය පෙනී සිටි අතර, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සමන්ති පොන්නම්පෙරුම මෙනවිය හා මහේෂා ජයසිංහ සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, නීතිඥ සේනානි දයාරත්න, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා ඇතුළු නීතිඥ මණ්ඩලයක් විත්තිය නියෝජනය කළහ. අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන්, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නයෝමි කහවිට, රජයේ අධිනීතිඥ කනිෂ්ක රාජකරුණා, රජයේ අධිනීතිඥ රුෂ්මි වික්‍රමගේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියහ.
ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළදී එම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් සිංගප්පූරුවේ පිහිටි ජාත්‍යන්තර අධිකරණය හමුවේ මහාධිකරණයක් හමුවේ නඩු පැවැරීම ඵල රහිත ක්‍රියාවක් බව තම අධිකරණය දකින්නේ යැයිද අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශයට පත් කළ එම තීන්දුව මගින් විනිසුරු මඬුල්ල පෙන්වා දුන්හ.
@දිවයින