විෂයන් 09ම උගන්වා දරුවන් ජයග්‍රහණය කරවූ හසලක දුයිෂෙන්
(රංජිත් කරුණාවීර)
මම ආසයි ලෝකය දකින්න පෙරුම් පුරන දූ දරුවන්ගේ ඇස් පාදලා ඒ දරුවන්ටත් ජීවිත ජය ගන්න පාර පෙන්වා දෙන්න.
ගුරුවරු නෑ, අවශ්‍ය සම්පත් නෑ කියලා මම පසුබට වුණේ නෑ. මට ඕනෑ වුණේ තියන සම්පත් ප්‍රයෝජනයට ගනිමින් මගේ පාසලේ දරුවන්ට ජයග්‍රහණයක් අත්කර දෙන්න.
පාසලේ කිසිම ගුරුවරයකු නොමැතිව විදුහල්පතිවරයා සාමාන්‍ය පෙළට විෂයන් 09 ම උගන්වා දරුවන් ඉහළින්ම සමත් කළ සිදුවීම පිළිබඳ සමාජයේ ලොකු විශ්වාසයක් හා පිළිගැනීමක් ඇති වී තිබේ. ඒ හසලක, ගලමුදුන කනිෂ්ඨ විද්‍යාලයේ විෂයන් 09 ම උගන්වා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් පස් දෙනාගෙන් හතර දෙනකුම ඉහළින්ම සමත් කළ එම විදුහල්පතිවරයා පිළිබඳවය. ඒ විදුහල්පති ජානක ධනුද්දර මහතාය.
රටේ බහුතරයක් දෙනා අධ්‍යාපනය ගැන කතා කරන වකවානුවක දුෂ්කර ගම්බිම්වල අතිදුෂ්කර අධ්‍යාපන සේවයේ යෙදෙමින් දරුවන්ගේ
අධ්‍යාපනයට දැඩි කැපකිරීම් කර ඔවුන් ඉහළින්ම ඔසවා තැබීමට සමත් වූ, රටේ වැඩි දෙනා කතා බහකට ලක් කර ඇති හසලක ගලමුදුන කනිෂ්ඨ විද්‍යාලයේ එකම ගුරුවරයා ද විදුහල්පතිවරයා ද වන්නේ ජානක ධනුද්දර මහතාමය.
ගමේ දරුවන් වෙනුවෙන් එතුමන් දැක්වූ විශිෂ්ට ගුණය, වෙහෙස සහ කැපවීම හමුවේ ඇගයීම වෙනුවෙන්, සරත් මහින්ද කුමාර මහතාගේ සභාපතිත්වයෙන් යුතු මහියංගණ වෙළෙඳ සංගමයේ පිරිස මැදිහත්ව, මහියංගණ නගරයේදී ගලමුදුන කනිෂ්ඨ විද්‍යාලායේ ජානක ධනුද්දර ගුරුතුමා ඇගයීමේ විශේෂ අවස්ථාවක් සංවිධානය කළහ. එතුමන් රටේ ගුරු පරපුරට ආදර්ශයක් ලබාදෙමින්, සිදුකළ විශිෂ්ට සේවාව වෙනුවෙන් උපහාරයක් සහ ඇගයීමක් කළ අතර විද්‍යාලයේ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සොයා බලා අවශ්‍ය කටයුතු සූදානම් කිරීමට ද මහියංගණ වෙළෙඳ සංගමයයේ ලේකම් ඒ. ඩී. පියදාස දේවගේ, භාණ්ඩාගාරික තිලක් සමන් කුමාර යන මහත්වරුන් දෙපළ පොරොන්දු වූහ.
මහනුවර දිස්ත්‍රික්කයේ, මිණිපේ අධ්‍යාපන කොට්ඨාසයේ නකල්ස් කඳුවැටියේ අතිදුෂ්කර වනගත ගම්මානයක් වන හසලක ගලමුදුන කනිෂ්ඨ විද්‍යාලයේ එකම ගුරුවරයා ද විදුහල්පතිවරයා ද වෙමින් වසර 05කට ආසන්න කාලයක් තිස්සේ අනේක විද දුක් කම්කටොළු විඳ දරා ගනිමින්, වන අලින් ගැවසෙන වනය මැදින් කිලෝමීටර් 06 කට ආසන්න දුරක් දෙපයෙන් ගමන් කරමින්, ගලමුදුන විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් කළ සේවය එහිදී සැමගේ ප්‍රශංසාවට ලක්වූහ.
ඇගයීමට ලක්කළ ධනුද්දර ගුරුතුමන් මිහින්තලාව, මහකනදරාව, යාය 01 ගම්මානයේ පදිංචි වයස අවුරුදු 45ක අවිවාහකයෙකි.
උත්සව සභාව ආමන්ත්‍රණය කළ ධනුද්දර ගුරුතුමා,
ආර්ථික විද්‍යා විශේෂ උපාධියක් කරලා අද මම මේ තැන ඉන්නේ නිදහස් අධ්‍යාපනය නිසා. මට අවුරුදු 03 දී මගේ පියා මට අහිමි වෙනවා. එදා ඉඳලා කර්කෂක ජීවිතයක් ගත කරමින් මා ලබපු පන්නරය අප්‍රමාණයි. ජීවිතයේ නොයෙකුත් බාධක කම්කටොළු ආවත් මම ඒවා විඳ දරාගෙන මගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගත්තා.
මම ආසයි ලෝකය දකින්න පෙරුම් පුරන දූ දරුවන්ගේ ඇස් පාදලා ඒ දරුවන්ටත් ජීවිත ජය ගන්න පාර පෙන්වා දෙන්න.
ගුරුවරු නෑ, අවශ්‍ය සම්පත් නෑ කියලා මම පසුබට වුණේ නෑ. මට ඕනෑ වුණේ තියන සම්පත් ප්‍රයෝජනයට ගනිමින් මගේ පාසලේ දරුවන්ට ජයග්‍රහණයක් අත්කර දෙන්න. මම ඒ දේ කළා. ඒ සතුට මට වචනයෙන් විස්තර කරන්න බෑ.
කිසිම දවසක සම්මාන බලාපොරොත්තුවෙන් නෙවෙයි මම ඒ දරුවන්ට අකුරු කියා දුන්නේ. විදුහල්පති ධුරයේ කටයුතු අප්‍රමාණයි. ළමයින්ගේ පාසල් නිල ඇදුම්, පෙළ පොත්, පෝෂණ වැඩසටහන්, නාමලේඛනය ලකුණු කිරීම යන වගකීම් අතරට මම දරුවන්ගේ සාමාන්‍ය පෙළත් විශේෂ වගකීමක් ලෙසට හිතට ගත්තා. ඒ අනුව රාත්‍රි 11.30 වෙනකල් පවා පන්ති පැවැත්වුවා. ඒ තුළින් ඉහළින්ම දරුවන් සමත් කරවීමට මට හැකි වුණා. ගිය අවුරුද්දෙත් මේ අවුරුද්දෙත් දරුවන් ඉංග්‍රිසි භාෂාව පාස් වුණා. දැන් ඒ දරුවන් ඔවුන්ගේ අධ්‍යාපනික මාර්ගයට වැටිලා ඉවරයි. දරුවන්ට ඉගෙනීමේ ආශාව ඇතිවෙලා ඉවරයි. ඒ දරුවන් වෙනුවෙන් ලෝකයක් ඇස් ඇරපු මොහොතක නොසිතූ ආකාරයෙන් මට මෙවැනි ආකාරයේ උපහාරයක් සංවිධානය කිරීම, පිළිගැනීමක් සංවිධානය කිරීම වෙනුවෙන් මම ඔබ සැමට බොහොම ස්තූතිවන්ත වෙනවා, යැයි ධනුද්දර විදුහල්පතිවරයා පැවසුවේය.
@දිවයින