Latestදේශීයනවතම ලිපි

ප්‍රියන්ත ජයකොඩිගේ හිතවතා යටතේම ප්‍රියන්ත අත්අඩංගුවට!

(තරිඳු ජයවර්ධන)

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට අරගෙන තියනවා. ඒ කෙහෙල්බද්දර පත්මේ නැමැත්තා තර්ජනය කළ බවට ව්‍යාජ පැමිණිල්ලක් කිරීම සහ ඔහුගේ හිතවතකු ලවා කෙහෙල්බද්දර පත්මේ නමින් තවත් කිහිප දෙනකුට තර්ජනය කර සාපරාධී බියගැන්වීම කළා කියන චෝදනාව මතයි.

ඡායාරූපයේ ප්‍රියන්ත ජයකොඩි මහතා සමග ඉන්නේ ශානි අබේසේකර. 2022දි ප්‍රියන්ත මහතා ෆේස්බුක් එකේ මේ ෆොටෝ එකත් එක්ක කතාවක් දාලා තිබ්බා. ඒකේ මෙහෙම තිබ්බා. ඔහුගේ දීර්ඝ ලිපියෙන් කොටස් කිහිපයක් පහතින් තියනවා.

‘මේ ඡායාරූපයේ මා සමග ඉන්නේ ශ්‍රී ලංකාව මෙතෙක් බිහි කළ විශිෂ්ටතම රහස් පරීක්ෂකවරයෙකු හැටියට අවිවාදයෙන්ම හඳුන්වන්න පුළුවන් හිතවත් ශානි අබේසේකරයි. ශානි අමුතුම විදිහේ පොලිස්කාරයක්. මට ශානිව මුලින්ම මුණගැහුණේ 1997 වර්ෂයේදීයි. එතකොට ඔහු විශේෂ කාර්ය බලකාය නොහොත් එස්ටීඑෆ් එකෙන් අයින් වෙලා ක්ෂේත්‍රය රාජකාරියට ආපු අලුත.‘

‘shani අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙච්ච අවස්ථාවේ මම ඔහුට සුබ පැතුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සුදුසුම නිලධාරියෙක් කාලයකට පස්සේ අධ්‍යක්ෂකවරයා හැටියට පත් වුණා කියලයි.‘

‘ශානි අතිදක්ෂ අපරාධ විමර්ශකයෙක්. ඒ වගේම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවංක නිලධාරියෙක්. ශානි තරම් අවංක නිලධාරියෙක් මට දෙපාර්තමේන්තුව තුළ මෙතෙක් හමුවෙලා නෑ කියලා මම කිව්වොත් ඒක වඩාත් නිවැරදියි.. ඔහු අපරාධ විමර්ශනයක් බාර ගත්තොත් ඒකෙ කෙළවරටම යනකං ඒක පස්සෙන්ම ඉන්නවා ඒ වෙලාවට කෑම බීම වෙනත් කටයුතු ඔහුට එතරම් දේවල් නෙමෙයි. අපරාධ විමර්ශනය ප්‍රායෝගික පැත්ත වගේම නීතිය සම්බන්ධවත් ඔහු තුළ තියෙන දැනුම ඉතා විශාලයි.ඒ හේතුවෙන් ඔහු කවදාවත් නීති විරෝධී වැඩ කෙළේ නැහැ.මා දකින ඔහු තුළ තිබූ ප්‍රධානම දුර්වලකම තමයි යම් අපරාධයක් විමර්ශනය කරලා සැකකරුවන් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරල අධිකරණ කටයුතු ඉවර වෙනකන්ම ඔහු ඒ සිද්ධිය පසුපස්සේ සිටීම. විශේෂයෙන්ම සමහර අවස්ථාවල අධිකරණ කටයුතු නොමඟ යද්දි ඒ ගැන කතා කරලා ඒ ගැන සාකච්ඡා කරලා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අවධානයට ලක් කරලා එම දුර්වලතා නිවැරදි කිරීමට ඔහු කටයුතු කළා‘

ප්‍රියන්ත ජයකොඩි මහතා එහෙම කිව්ව ශානි අබේසේකර මහතා අධ්‍යක්ෂ ධුරය දරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ම තමයි ප්‍රියන්ත ජයකොඩිව අද අත්අඩංගුවට ගන්නේ. ජයකොඩි මහතා කිව්ව විදිහටම ශානි කියන්නේ අම්මා තාත්තට වුණත් නීතිය හරියට ක්‍රියාත්මක කරන කෙනෙක් කියලා අද ජයකොඩි මහතාගේ අත්අඩංගුවට ගැනීම මගිනුත් ජයකොඩි මහතාම තහවුරු කරනවා කියලා හිතනවා. තමන්ගේ මල්ලි වැරදි වැඩක් කළහම කූඩු කෙරෙව්ව ශානි අබේසේකරට ප්‍රියන්ත ජයකොඩි මහතා අත්අඩංගුවට ගැනීම ඉතින් එච්චර අමාරු වැඩක් වෙන්න නැතුව ඇති.

අපේ හිත මිත්‍ර ප්‍රියන්ත ජයකොඩි මහතා ඇප අරං ආව ගමන් තමන්ගේ කතාව අපිත් එක්ක කියයි කියලත් බලාපොරොත්තු වෙනවා.

අත්අඩංගුවට ගැනීම ගැන වැඩි විස්තර පහත වීඩියෝවේ තියෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *