යටිනුවර අභිරහස් මරණයේ තොරතුරු ලියුමකින් එළියට
චාරිකාවක ගිය පොඩි දුව බේරෙයි
බාල දියණිය ඝාතන තැත වරදී
මහනුවර පොලිස් ලොක්කෙක් ගැනත් තොරතුරක්
බිරිය හා වැඩිමහල් දියණිය ඝාතනය කර යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක මෙන්ම හිටපු සභාපති චම්පික නිලන්ත මහතා සියදිවි හානි කරගෙන ඇත්තේ මුදල් ප්‍රශ්නයක් මත දැඩි ආර්ථික පීඩනයක් මුල්කරගෙන බව ඒ සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
තමා මෙසේ සිය අඹුදරුවන් මරාගෙන මැරෙන්න මුල් වූ හේතුව සවිස්තරාත්මක ලිපියක ද ඔහු සටහන් කර තිබී ඇත. එම ලිපිය නිෙවසේ තිබී පොලීසියට හමුවී තිබේ.
සිය අඹුදරුවන් මරා තමා ද සියදිවි හානිකර ගැනීමට තරම් මානසික පීඩාවක් තමාට එල්ල කළ අය ගැන පවා එහි සඳහන් කර ඇති අතර ඔහු මේ සම්බන්ධයෙන් බරපතළ ලෙස චෝදනා එල්ල කර ඇත්තේ (දැනට මියගොස් සිටින) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ව්‍යාපාරික ඥාති සහෝදරයකු වෙතය. එසේම තමාට එරෙහිව එල්ල කළ ව්‍යාජ අපරාධ චෝදනාවක් ගැන මෙන්ම එම චෝදනාවෙන් ගලවා ගැනීමට නීතිඥවරයෙක් විසින් මහනුවර පොලිස් ප්රධානියකුට සහ මහනුවර විශේෂ පොලිස් අංශ ස්ථානාධිපතිවරයකුට ලබාදීමට රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාගැනීමක් ගැන ද එම ලිපියෙන් හෙළි කර ඇත.
ඔහු සිය බාල දියණිය ද ඝාතනය කිරීමට සැලසුම් කර ඇතත් එය ව්‍යර්ථව ඇතැයි පොලීසිය සඳහන් කරයි. යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත ඔහුගේ බිරිය හා දාහත් හැවිරිදි දියණිය ඝාතනය කර සියදිවි හානිකර ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේ පේරාදෙණිය පොලීසියයි. මේ අපරාධය සිදුව ඇත්තේ ඊයේ (29) අලුයම් කාලයේදීය.
බිරිය හා දියණිය ඝාතනය කිරීමෙන් පසු විපක්ෂ නායකවරයා ඔවුන් පදිංචි දෙමහල් නිෙවස පිටත සියදිවි හානි කරගෙන තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත.
ඝාතනයට ලක්ව ඇත්තේ ඔහුගේ බිරිය වන දිල්රුක්ෂි ජයලත් කුමාරගේ (45) හා දියණිය වන ශිහාරා ආශිංසනී හපුගොඩ (13) නැමැති දෙදෙනාය.
නිදි පෙති වර්ගයක් බිරියට හා දියණියට බීමට දී නින්ද ගිය පසු ඔවුන් ඝාතනය කර තිබෙන බවට පොලීසිය සැක කරයි. දියණිය නිෙවසේ කාමරයක ඇඳක් මත ද බිරිය ඇඳ පාමුල ද ඝාතනය කර සිටියදී සොයාගත් බව පොලීසිය පවසයි. ගෙල වයරයකින් සිරකර මේ ඝාතන සිදුකර ඇතැයි පොලීසිය සඳහන් කළේය.
බාල දියණිය නෙත්මි මලිංෂා හපුගොඩ (12) දැරිය කටුගස්තොට සාන්ත අන්තෝනි බාලිකා විදුහලේ 8 වැනි වසරේ ඉගෙනුම ලබන අතර ඇය පෙරේදා (28) විදුහල සංවිධාන කළ අධ්‍යාපන චාරිකාවක් ගොස් ඇත. එදින රාත්‍රියේ විදුහලට ගොස් ඇය නිෙවසට රැගෙන විත් ඇත්තේ ද ඇගේ පියා වන විපක්ෂ නායකයා විසිනි.
ඒ වනවිටත් ඔහු බිරිය හා අනෙක් දියණිය ඝාතනය කර තිබී ඇතැයි පොලීසිය සැක කරයි.
දැරිය පොලීසියට පවසා ඇත්තේ පියා තමන්ටත් යම් පෙති වර්ගයක් පානය කිරීමට දුන් බවය.
අලුයම් කාලයේ තම ගෙල සිර වන බවක් දැනීමෙන් අවදි වූ තමාට, වයරයක් අතැතිව සිටින පියා දැක ගැනීමට හැකි වූ බවත් ඒ අවස්ථාවේ පියා තමාව බදා ගනිමින් හැඬූ බවත් බාල දියණිය පොලීසිය හමුවේ පවසා තිබේ.
ඉන්පසු පියා නාන කාමරයට යන බව පවසා පිටව ගොස් ඇති අතර මඳ වේලාවකට පසු ගෙරවිලි ශබ්දයක් තමාට ඇසුණු බවත් එහි ගොස් බැලීමේදී පියා එල්ලී සිටින ආකාරය දැක ගන්නට ලැබුණු බවත් දැරිය පවසා ඇත.
විපක්ෂ නායකවරයා මහනුවර ව්‍යාපාරිකයකුගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 50ක ණය මුදලක් ආපසු ගෙවීමට නොහැකිව විශාල පොලී මුදලක් එකතුවීම මත එම ව්‍යාපාරිකයා නිතර තර්ජනය කිරීමේ සිද්ධියක් මේ සියදිවි හානිකර ගැනීමට හා ඝාතනයට සම්බන්ධ බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිස යටිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ද කලක් හෙබවූ චම්පික නිලන්ත මහතා පසුව සමගි ජනබලවේගය හා එක්විය. පසුගිය පළාත් පාලන මැතිවරණයට සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ඒ මහතා කොට්ඨාසය ජයග්‍රහණය කරමින් යටිනුවර ප්‍රාදේශීය සභාවට තේරී විපක්ෂ නායක ධුරයට පත්විය.
විපක්ෂ නායකවරයා ඔහු සතු මෝටර් රථය විකුණා පොලියට මුදල් ලබාගත් ව්‍යපාරිකයාට පසුගිය මාර්තු මාසයේ දී ලක්ෂ 15ක පමණ මුදලක් ලබා දී තිබෙන බව ද වාර්තා වේ. එම මුදල ලබාදීමට සිදුව ඇත්තේ ඔහුට එරෙහිව ව්‍යාපාරිකයා පොලීසියට කළ පැමිණිල්ලක් මුල්කරගෙන බව සඳහන්ය.
අනතුරුවද එම ව්‍යාපාරිකයා මොහුට කරදර කර තිබෙන බව දැන ගන්න තිබෙන අතර එහි දී ඉහළ පොලිස් නිලධාරියකුගේ සහාය ද ව්‍යාපාරිකයාට හිමිව ඇතැයි දැන ගන්න තිබේ.
ඝාතනයට ලක් වූ 17 හැවිරිදි දියණිය සුදු කබර රෝගයෙන් පීඩා විඳ සිට ඇති බවත් ඉන්දියාවට රැගෙන ගොස් ඇයට ප්‍රතිකාර ලබාදීමේ දැඩි වුවමනාවක් විපක්ෂ නායකවරයාට තිබී ඇති බවත් දැන ගන්නට තිබේ. ව්‍යාපාරිකයාගෙන් එල්ල වූ දැඩි පීඩනය සහ තර්ජනය කිරීම් ඇතුළු මූල්‍ය ගැටලු හේතුවෙන් ඔහු ඒ සම්බන්ධයෙන් ද දැඩි කනස්සල්ලෙන් පසු වූ බව ලිපියේ සඳහන් කර තිබෙන බව පොලීසිය පවසයි.
උදෑසන අවදි වූ බාල දියණිය සිය මව සහෝදරිය ඝාතනය කර ඇති බව දැක කෑ ගසා ඇති බවත් ඒ අනුව අසල්වාසීන් පැමිණ පරීක්ෂා කිරීමේදී විපක්ෂ නායකවරයා සියදිවි හානි කරගෙන ඇති බව දැක පොලීසියට ඒ ගැන දැනුම් දී ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මියගිය චම්පික නිලන්තගේ වැඩිමල් සහෝදරයාගේ දියණිය වන මිනෙල් හපුගොඩ මෙසේ පැවසුවාය.
“මියගිය බාප්පා පවුලේ අය සමඟ ඉතාම ආදරයෙන් හිටියා. එයා අපි හැමෝටම හරිම ආදරෙයි. පසුගිය දිනවල බාප්පා ලොකු පීඩනයකින් තමයි හිටියේ. මගේ බාප්පයි පුංචියි ලොකු නංගියි තුන්දෙනාම නැති වුණා. බාප්පා මට අන්තිමට හමුවුණේ ගිය සතියේ. මගේ උපාධි ප්රදානෝත්සවයේදී එයාට මොනවා හරි ප්‍රශ්නයක් තිබුණා. මොනවා හරි කළ බිස්නස් එකක් සම්බන්ධව එයාට කවුරුහරි තර්ජනය කළ ප්‍රශ්නයක් තිබුණා. ඒ ගැන කනස්සල්ලෙන් හිටියේ. අපේ තාත්තා විස්තර දන්නවා. ඒ නිසා මම විශ්වාස කරනවා මෙහෙම දෙයක් කරගන්න ඇති කියලා. අධ්‍යාපන චාරිකාවට ගිය පොඩි නංගි ගෙදර අරන් ඇවිත් පස්සේ තමයි මේ දේ කරගෙන තියෙන්නේ.’
මියගිය චම්පික නිලන්තගේ සහෝදරයකු වන ලක්ෂ්මන් කුලතුංග මහතා –
‘මම උදේ 6.20ට විතර චම්පිකගේ ගෙදරට ආවා. පස්සේ මම දැක්කා චම්පික ගෙල වැලලාගෙන ඉන්නවා. පසුව මම නිෙවසේ උඩුමහලට යන විට උඩුමහලේ ඇඳක් උඩ දුව උඩුබැලි අතට වැටිලා ඉන්නවා දැක්කා. මම හයියෙන් කෑගැහුවා. මම දැනගත්තා දුවත් මියගිහින් කියලා. චම්පිකගේ නෝනා ඇඳක් යට ඉන්නවා දැක්කා. ඇත්තටම අපට මේ සිදුවුණු දේ ගැන හිතා ගන්නවත් බැහැ’යි සඳහන් කළේය.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මළසිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන යන ලදි. සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
@දිනමිණ