Latestදේශීය

අල්ලස් ගත් 34ක් අත්අඩංගුවට

මේ වසරේ ගත වු පළමු මාස 06 තුළ අල්ලස් ලබාගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ මේ වසරේ ජනවාරි මස පළමු වන දින සිට ජුනි මස 30 වන දින දක්වා කාලය තුළ පැමිණිලි 3,022ක් ලැබී ඇති බවයි.

එම කාලය තුළ වැටලීම් 54ක් සිදුකර ඇති අතර ඉන් සැකකරුවන් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් අතර ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් දසදෙනෙකු අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරින් 5 දෙනෙකු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු, ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරින් දෙදෙනෙකු වන බව ද සඳහන් වේ.

ඊට අමතරව සිවිල් පුද්ගලයින් 6 දෙනෙකු ද අල්ලස් ලබාගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් මේ වසරේ ගත වූ පළමු මාස 6 තුළ අත්අඩංගුවට ගෙන ඇති බවය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ වසරේ ගත වු කාලය තුළ අල්ලස් ලබාගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ අධිකරණ වල සැකකරුවන් 60 දෙනෙකුට එරෙහිව නඩු 50ක් ගොනුකර තිබේ.

ඊට අමතරව අදාළ කාලය තුළ නඩු 6ක් අවසන් වී ඇති අතර දිවයින පුරා අධිකරණවල අල්ලස් ලබාගැනීමේ සිදුවීම් සම්බන්ධ නඩු  273ක් විභාග වෙමින් පවතින බව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර මේ වසරේ ගත වු කාලය තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන්  පුද්ගලයින් එක් ලක්ෂ 22,913 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.

එහිදි හෙරොයින් කිලෝ 928ක්, අයිස් කිලෝග්‍රෑම් 1,396ක්, කොකේන් කිලෝ 27ක්, හෂීස් කිලෝ 381ක් සහ ගංජා කිලෝ 11,192ක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව පසුගියදා සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී ද විෂ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 948 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

එම වැටලීම්වල දී අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ගිනි අවි තුනක් ද ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *