Latestදේශීයනවතම ලිපි

ජනාධිපතිගේ ඥාතිවරියකට හම්බ කරන්න ජයවර්ධනපුර රෝහලේ වෙනම වාට්ටුවක්

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න, ඇයගේ සැමියා සහ එවකට රෝහල් අධ්‍යක්ෂ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ ආණ්ඩුවේ ආශිර්වාදයෙන් පවත්වාගෙන ගිය ජාවාරම මෙයට වසර 14කට පෙර ලංකා පුවත්පතෙන් මුල්වරට හෙළි කරනු ලැබීය.

එම පුවත්පතේ සේවය කළ මාධ්‍යවේදී ජනක විජේගුණතිලක 2011 ජනවාරි 02 දින පළකළ ලංකා පුවත්පතෙන් හෙළිකළ සම්පූර්ණ වාර්තාව උපුටාගෙන පහතින් දැක්වේ.

ජනාධිපතිගේ ඥාතිවරියකට හම්බ කරන්න ජයවර්ධනපුර රෝහලේ වෙනම වාට්ටුවක්…

වෛද්‍ය වෘතිය යනු ලොව අති උතුම් වෘත්තින්වලින් එකකි. එහෙත් එම වෘත්තිය ගණිකා වෘත්තියටත් වඩා පහත් තත්වයට වට්ටා හෑල්ලුකරන වෛද්‍යවරු සිටිති.

මිගමුව රෝහලේදී වෛද්‍යවරියක විසින් තරුණියක දූෂණය කර, තට්ටු හයකින් පහළට තල්ලුකර මරා දැමීම. හෙම්මාතගම රෝහලේ වෛද්‍යවරයෙකු ප්‍රතිකාර ගැනීමට ආ තරුණියක් නිරුවත් කොට රහසිගතව වීඩියෝ කිරීම, ජයවර්ධනපුර රෝහලේදී දරු ප්‍රසූතියට පැමිණි මවක වෛද්‍යවරයෙකු විසින් දූෂණය කිරීමට උත්සාහ කිරීම, ආදී අශිලාචාර හා අමනුෂ්‍ය වැඩ රැසක් පිළිබඳ තොරතුරු මෑතකදී රටට හෙළිවිය.

මේ කියන්නට යන්නේ වෛද්‍යවෘත්තීය, ගණිකා වෘත්තියේ යොදවන තවත් මිනී කන්නන් පිරිසක් ගැනය.

ජයවර්ධනපුර රෝහලේ හිස පිළිබඳව සැත්කම් සිදුකරනු ලබන “නියුරෝ” වාට්ටුව පිහිටුවන්නේ හිටපු සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල සිල්වාගේ කාලයේය. රෝහලට අලුතින් බඳවා ගන්නා ලද විශේෂඥ වෛද්‍යවරියකට මෙම වාට්ටුව බාරදෙනු ලබයි. ඇය ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාතිවරියකි. එසේම අමාත්‍ය නිමල් සිරිපාල සිල්වාගේ හිතවතියකි.

මේ වාට්ටුව වෙනුවෙන් රුපියල් කෝටි ගණනක වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේදී අවශ්‍ය උපකරණ කිහිපයක්ම මිලදී ගෙන නැත. එසේ සිදුකර ඇත්තේද වෛද්‍යවරියට පෞද්ගලිකව ලාභයක් ලබා ගැනීම වෙනුවෙනි. මේ වන විට වෛද්‍යවරිය විසින් නියුරෝ වාට්ටුව පෞද්ගලික බූදලයක් බවට පත්කරගෙන ඇත්තේ මෙම බලය උපයෝගී රගෙනය. හිස පිළිබඳ ශෛල්‍යකර්මයක් කිරීමට සිදුවන රෝගීන්ට වෛද්‍යවරිය ප්‍රකාශ කරන්නේ සැත්කම කිරීමට නම්,
වෛද්‍ය උපකරණ පිටතින් රැගෙන ආ යුතු බවය. ඒ සඳහා රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ තුනකට අතර මුදල වෛද්‍යවරිය විසින් නියම කරනු ලබයි. වෛද්‍යවරිය විසින් රෝගියාගේ ඥාතීන්ට දුකථන අංකයක් ලබාදෙනු ලබයි. මෙම දුරකථන අංකයට කතා කළ විට ලක්ෂමන් නම් පුද්ගලයෙක් පැමිණේ. මේ ආයතනයේ සියලු ගනුදෙනු සිදුවන්නේ මොහුගේ නමටය. මේ පුද්ගලයාට අදාළ මුදල ගෙවිය යුතුය. මෙම මුදල ගනු ලබන්නේ රෝහලේ රථ ගාලේදී හෝ ගේට්ටුව අසළදීය.

නැතිනම් කොල්ලුපිටියේ ලකී ප්ලාසා ගොඩනැගිල්ලේ ඇති සයිරෙක්ස් ටේ්‍රඩින් නමැති තැනකටය. මෙම මුදල් ලබා ගැනීමෙන් පසුව සැත්කම සිදුකරනු ලබයි. කුලියට ලබා ගන්නා බවට පවසන උපකරණ ගෙන එනු ලබන්නේ වෛද්‍යවරියට අයත් ඉහත ආයතනයෙනි. ඇතැම් විට එවැනි උපකරණයක් ගෙනාවාද නැද්ද යන්නවත් රෝගියා දන්නේ නැත. ඇතැම් රෝගීන් මෙම සැත්කම් සඳහා මුදල් ලබාගෙන ඇත්තේ පොලියටය. තවත් අයෙක් ගේදොර කනකර උගසට තබමිනි.

හිස ආශ්‍රීත ස්නායු අධීක්ෂණය කරන්නට 2006 ජූනි මස 16 වැනි දින නීති විරෝධී ආකාරයෙන් කමිටුවක් පත්කර ගෙන ඇත. කමිටුවේ සාමාජිකයන් වන්නේ රෝහලේ සභාපති, එන්.ඩබ්.ඊ. විජේවංශ, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ලැනරෝල්, වෛද්‍ය වී.කේ.පී. ඉන්ද්‍රරතන, මහීෂී විජේරත්න යන සිවුදෙනාය.

 ඉහත කී වෛද්‍යවරියට ලැබෙන මුදලට අමතරව මෙම කමිටුවේ දෙදෙනෙකුටද සැතකමින් ලබාගන්නා මුදල් හිමිවෙන බවට රෝගීන් සඳහන් කර තිබේ. ඒ රෝහල් අධ්‍යක්ෂ සහ නිර්වින්දන වෛද්‍යවරයාටය.

ඉහළ මුදලක් අයකරමින් සිදුකරනු ලබන මෙම සැත්කම්වලින් විශාල ප්‍රමාණයක් අසාර්ථක වී තිබේ. සැත්කම් අසාර්ථක වී මියගිය රෝගීන්ගෙන්ද මෙම වෛද්‍යවරිය මුදල් අයකර ඇත.

සැත්කම් අසාර්ථකවී මිය ගිය බොහෝ රෝගීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණවලදී හදිසි මරණ පරීක්ෂකවරයා ලබාදී ඇත්තේ විවෘත තීන්දුය. එලෙස විවෘත තීන්දු ලබාදී ඇත්තේ එම මරණ සම්බන්ධයෙන් සැක ඇතිවී තිබීම නිසාය. එලෙස මිය ගොස් ඇති ඇතැම් රෝගීන්ගේ මෘත දේහයන් පරීක්ෂා කරන විට සිරුරේ කොටස් අඩුවී තිබූ අවස්ථාද මරණ පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයට ලක්වී ඇත.

මෙම වෛද්‍යවරිය ඇතුළු පිරිස සිදුකරන ජාවාරම පිළිබඳ දිගින් දිගටම පැමිණිලි ලැබීම හේතුවෙන් සැත්කම් සඳහා අඩුව පවතින උපකරණ මිලදී ගන්නා ලෙස රෝහල් බලධාරීන් විසින් රෝහල් සැපයීම් නිලධාරියාට දැනුම් දී ඇත. එහෙත් මෙම උපකරණ මිලදී ගැනීමට සැරසෙන විටදී වෛද්‍යවරිය සිදුකර ඇත්තේ ගෙන්වීමට අවශ්‍ය උපකරණ සඳහන් ලිපිගොනුව සැපයුම් නිලධාරීන්ගෙන් රැගෙන යාමය.

මේ අතර රෝගීන් ගසා කෑම සඳහා තවත් ව්‍යාපෘතියක් සැලසුම් කර තිබේ. එනම් පෞද්ගලික සී.ටී ස්කෑන් යන්ත්‍රයක් රෝහල තුළ සවිකිරීමය. ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ වෛද්‍යවරියගේ සැමියා හා රෝහල් අධ්‍යක්ෂවරයා විසිනි. මෙම සී.ටී. ස්කෑන් යන්ත්‍රයෙන් වාර්තාවක් ලබා ගැනීම සඳහා රෝගීන්ගෙන් ඉහළ මුදලක් අය කිරීම සැලසුම විය. එහෙත් රෝහලේ වෘත්තිය සමිති විසින් විරෝධය දැක්වීම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය නතර කර දැමීමට ඔවුන්ට සිදුවිය.

2009.07.20 දින මෙම වාට්ටුව සඳහා රුපියල් 10,078,000.80ක් වැයකර සැතකම් මේසයක් ගෙන්වා ඇත. මීට අමතරව තවත් කොටි ගණනක උපකරණ රෝහලට ගෙන්වා ඇතත්, එම උපකරණ භාවිතයට නොගෙන පසෙකට දමා තිබේ.

මේ ආකාරයෙන් අනවශ්‍ය උපකරණ ගෙන්වීමට මුදල් වැය කළද, අඩු මිලක් වැයවන අවශ්‍ය භාණ්ඩ ගෙන්වීම සඳහා රෝහල් බලධාරීන් කටයුතු නොකරන්නේ මෙම ජාවාරම කරගෙන යාම සඳහාය.

පසුගිය දා සිදුවූ ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් මෙලෙස ජාවාරම කෙරෙන වාට්ටුව උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබිණි. ඒ සෞඛ්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙනි. මෙලෙස උත්සව පවත්වමින් බාල් නැටුවද, ජයවර්ධනපුර රෝහල පාඩු ලබන රාජ්‍ය ආයතන ගොන්නට එකතු වී ඇත. මෙසේ වී ඇත්තේ රජය මගින් මුදලක් ලබාදෙන අතර තුරය. මුදල් අයකර ප්‍රතිකාර කරනු ලබන රජයට අයත් එකම රෝහල පාඩු ලැබීමට හේතු වී ඇත්තේ රෝහල තුළ සිදුවන මෙම ජාවාරම් හේතුවෙනි. මෙම කණ්ඩායම සිදුකරන ජාවාරමට අමතරව විශාල ඖෂධ ජාවාරමක්ද එක්තරා වෛද්‍යවරුන් පිරිසක් විසින් සිදුකරගෙන යනු ලබයි. රෝගියාට අවශ්‍ය කරන ඖෂධ රෝහලේ නැති බව පවසමින් ඒවා පිටතින් ගෙන ඒමට සිදුවන බව රෝගීන්ම පැවසීය. එම ඖෂධ ගෙන්වීම සඳහාද රෝගීන්ට ලබාදෙන්නේ දුරකථන අංකයකි. මේ දුරකථන අංකයට ඇමතූ පසුව පැමිණෙන පුද්ගලයෙකුට ඖෂධ සඳහා මුදල් ගෙවිය යුතුය. එහිදී ඇතැම් ඖෂධ සඳහා රුපියල් 25,000 සිට 200,000 දක්වා මුදලක් අය කෙරේ. එම ඖෂධයේ නියමිත මිල හෝ ඖෂධය ලැබුණා ද යන්නවත් රෝගියා නොදන්නේය. මේ ආකාරයෙන් කෝටි ගණනක මුදල් ඉපයුවද ඒවා රෝහලේ දී කිසිදු ලේඛනයක සඳහන් වන්නේ නැත.

මෙම වෛද්‍ය ජාවාරම්කාර නඩය විසින් සිදුකරනු ලබන මෙම අඩුම ගසා කෑම වහාම නතර කළ යුතුව තිබේ. ඒ සඳහා රජය ක්‍රියාත්මක විය යුතුය. රජය දූෂකයන්ටම ඉඩදී නිහඬ වන්නේ නම්, ඒ සඳහා ජනතාව පෙළ ගැසිය යුතු කාලය පැමිණ ඇති බව සඳහන් කළ යුතුය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *