ගුරු සේවයට උපාධිධාරීන් බදවා ගැනීම දිගටම කල් දැමුවොත් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා – ඉසුරු ලක් රුවන්
ගුරුසේවය සඳහා අන්තර්ගහනය කිරීමට නියමිත අධ්‍යාපනවේදි උපාධිධාරීන් බඳවා ගැනීම් දිනෙන් දින කල් යාම හා එමඟින් ඇතිවී ඇති ගැටළු පිළිබඳව දැනුවත් කිරීම සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපනවේදී උපාධිධාරී එකමුතුව විසින් කොළඹ මහජන පුස්තකාලයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි.
එහිදී අධ්‍යාපනය උපාධිධාරී එකමුතුව වෙනුවෙන් අදහස් දැක්වූයේ ඉසුරු ලක් රුවන් මහතා සඳහන් කළේ ආණ්ඩුව හිතාමතාම මෙම ප්‍රශ්නය කල් දමමින් මගහරිමින් සිටින බවයි. එක් එක් පළාත් සභාව විසින් විවිධ හේතූන් දක්වමින් කල්මරන අතර, අගමැතිවරියට අධ්‍යාපන අමාත්‍යංශයට මේ සම්බන්ධව දිගින් දිගටම කරුණු ඉදිරිපත් කිරීම් කළද ඒ සඳහා ඔවුන් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වයි. ඒ වෙනුවට අමාත්‍ය මණ්ඩල තීරණයක් යැයි පවසමින් බඳවා ගැනීම් නතර කර ඇත. පසුගිය ජුනි 26 වන දින දකුණු පළාත් සභාව ගුරු සේවයට බදවාගැනීමට සූදානම් වී තිබුනද, 25වන දින අමාත්‍යමණ්ඩල තීරණයක් ලෙස දැනුම් දීමකින් පත්වීම් ලබාදීම නවතා දැමුණි.
බස්නාහිර පළාතේ පමණක් වසර දෙකක උපාධිධාරීන් සඳහා පත්වීම් ලබාදීම සිදුකෙරුණි. අධ්‍යාපනවේදී උපාධිධාරීන් යනු ගුරුවෘත්තීය සදහා න්‍යායික හා ප්‍රායෝගික පුහුණුවක් ලැබූ වෘත්තීය උපාධිධාරීන්ය. ඔවුන් ගුරුසේවයටා බදවා ගැනීම ප්‍රමාද කිරීම නිසා ඔවුන් වෙනත් රැකියා වෙත ගමන් කරන අතර, ඔවුන් මෙම ක්ෂේත්‍රයට අහිමිවී යාම සිදුවේ.
මේ පිලිබද වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසූයේ , උදාහරණයක් ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීටය සදහා සිසුන් බදවා ගනු ලබන්නේ, උසස්පෙල කලා විශයධාරාවෙන් ඉහලම z අගයක් සහිත සිසුන් පිරිසයි. එම සිසුන් අතරින් විශ්වවිද්‍යාලයේ පලමු වසර වැඩිම GPA අගය සහිත සිසුන් 80 දෙනා අධ්‍යාපන පීඨය සදහා තෝරාගනු ලබයි. ඔවුන් තමන්ගේ විෂය උපාධිය කැප කරමින් අධ්‍යාපනවේදී උපාධිය සම්පූර්ණ කරයි. එසේ නොමැතිව තම විෂය උපාධියක් හදාරන ලද්දේ නම් වෙනත් රැකියාවකට අවස්ථාව හිමිවන අතර, ගුරුවරයෙකු වීමට කැමති නම් ගුරු විභාගයට මුහුණ දී පැමිණීමේ හැකියාවද ඔවුන්ට හිමි වේ.
දැන් අධ්‍යාපනයේදී උපාධි හැදෑරීම නිසා ඔවුන්ගේ අනෙකුත් අවස්ථාවන්ද අහිමි කර ඇති අතර ගුරු සේවයට බඳවා ගැනීමද සිදු නොකිරීම නිසාට බරපතළ අර්බුදයකට ලක්ව ඇත. දිගින් දිගටම මෙය සිදුවන්නේ නම් මතුවට අධ්‍යාපනවේදී උපාධි හැදෑරීම සඳහා සිසුන් පැමිනේ යැයි සිතිය නොහැකි අතර, අධ්‍යාපන පීට වසා දැමීමට සිදුවනු ඇත. ආණ්ඩුව මීට මැදිහත් නොවන්නේ නම්, ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද ඒ මහතා පැවසීය.