මට නඩු දැම්මේ රනිල් සහ මෛත්‍රී – නාමල් කියයි
තමන්ට ඇති නඩුවලින් සියයට සියයක් දමා ඇත්තේ, මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ මහත්වරුන් නායකත්වය දුන් යහපාලන ආණ්ඩුවෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. පක්ෂ මූලස්ථානයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙරේදා (02) මේ බව සඳහන් කළේය.
එහෙත් තමන් ඒ කිසිවකුට වෛර නොකරන බවත් දේශපාලන නඩුවලට දේශපාලනිකව මුහුණ දෙන බවත් හෙතෙම කීවේය.
“අපි මේ රටේ පුරවැසියන් විදියට ඕනෑම කෙනෙක් ඇසුරු කරනවා. දේශපාලනික වශයෙන් විරුද්ධ මත තිබෙන්න පුළුවන්. අපිව හිරේ දාන්න කටයුතු කරන අය වෙන්න පුළුවන්. අපි ඒ අයට වෛර කරන්නෙත් නැහැ. එහෙම කරානම් රනිල් වික්‍රමසිංහ මහත්මය එක්ක ආණ්ඩුවක් හදන්න වෙන්නෙත් නැහැ. සිරිසේන ජනාධිපතිවරයා එක්ක දේශපාලනය කරන්න වෙන්නෙත් නැහැ. හිතේ කහටක් නැහැ. දේශපාලනිකව අපි ඒවට මුහුණ දෙනවා. දේශපාලනික නඩුවලට දේශපාලනිකව මුහුණ දෙනව මිසක් ඒවට වෛරෙන් මුහුණ දීල හරි යන්නේ නැහැ. නමුත් ඇතැම් දේශපාලන පක්ෂවල නායක නායිකාවන්ට අනිත් අය එක්ක කතා කිරීමේ ප්‍රශ්නයක් තිබෙනවා. අපිට එහෙම නැහැ.” යැයිද කීවේය.
@දිනමිණ