බොරැල්ලේ ඝාතනයේ තොරතුරු හෙළිවෙයි
බොරැල්ල සහශ්‍රපුර සිරිපුර උයන නිවාස සංකීර්ණය අසලදී පාතාල කුලී ඝාතකයන් යොදවා තරුණයන් පස් දෙනකුට වෙඩි තබා ඉන් දෙදෙනකු ඝාතනය කර අනෙක් තිදෙනාට බරපතළ තුවාල සිදුකර ඇත්තේ වනාතේ ජූඩ් සහ දුමින්ද නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත බව විමර්ශනවලින් හෙළිවී ඇත.
පෙරේදා (07 දා) රාත්‍රි 8.40ට පමණ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ 23 හැවිරිදි එස්. මධුෂාන් නමැති තරුණයෙකි. ඝාතනය වූ අනෙක් තරුණයා බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි අයෙකි. ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ තරුණයන් තිදෙනාගෙන් දෙදෙනෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
මෙහිදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ වනාතේ චතූ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ පාර්ශ්වයට සම්බන්ධ තරුණයන් බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබේ.
වනාතේ චතූ පාර්ශ්වය සහ වනාතේ ජූඩ් දුමින්ද දෙපාර්ශ්වය අතර මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් කාලයක සිට පවතින ආරවුල් මෙම වෙඩි තැබීමට හේතු වී ඇති බව ද පොලිසිය පවසයි. ඊයේ (08 දා) සිරිපුර උයන මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවලියක සංවිධාන කටයුතු කරමින් සිටි තරුණයන් පිරිසක් වෙත මෙම ප්‍රහාරය එල්ල වී තිබිණි.
ස්කූටර් වර්ගයේ යතුරුපැදියක පැමිණි පාතාල කුලී ඝාතකයන් දෙදෙනෙක් ටී 56 අවියක් යොදාගෙන මෙම තරුණයන්ට වෙඩි තබා ඇත. ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ වැටී තිබී හිස් පතරොම් කොපු 29ක් ද පොලිසිය සොයගෙන ඇත.
මෙසේ එකිනෙකා මරාගන්නා තත්ත්වයට පත්ව සිටින වනාතේ චතූ දුමින්ද සහ ජූඩ් පානදුරේ කුඩු සලිඳු සමග එකට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ අය බව විමර්ශනවලින් හෙළිවී ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුල් මත ඔවුන් එකිනෙකා විරසකවී ඇති අතර වනාතේ චතූ සහ තිලංග වෙනම කල්ලියක් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවී සිටියි.
මේ අතර වනාතේ ජූඩ් සහ දුමින්ද වෙනම කල්ලියක් බිහි කරගෙන සිටින අතර ඔවුන්ට පානදුරේ කුඩු සලිඳුගේ සහාය ද ලැබෙන බව විමර්ශන නිලධාරීහු පවසති.
සිරිපුර උයන අසලදී එල්ල වූ මෙම ප්‍රහාරයට අදාළ සියලුම සීසීටීවී දර්ශන මේ වනවිට පොලිසිය භාරයට ගෙන ඇති අතර ඒ ඔස්සේ විමර්ශන පවත්වාගෙන යයි.
මෙම ප්‍රහාරයෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව ඒකාබද්ධව බොරැල්ල ප්‍රදේශයේ දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.
ප්‍රහාරය එල්ල වූ ස්ථානය වෙත ඊයේ උදෑසන පැමිණි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විමර්ශන නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදී තිබිණි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි යන මහත්වරුන්ගේ උපදෙස් මත විමර්ශන පැවැත්වෙයි.
@දිවයින