බලය නැතත් දයා හයිය පෙන්වයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම ඇමැතිවරයෙක් ද වන දයා ගමගේ මහතා රුපියල් මිලියන 225ක මුදලක් ලබා ගැනීම සඳහා ජාතික සංවර්ධන බැංකුවට උකස් කරන ලද ඉඩමක් බැංකුවට සින්නවීමෙන් පසු ඊයේ (11) එම ඉඩම වෙන්දේසි කිරීමට යාමේදී හිටපු මන්ත්‍රීවරයා තවත් පිරිසක් සමඟ පැමිණ කලහකාරි ලෙස හැසිරෙමින් වෙන්දේසි ලේඛන උදුරා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තලාතුඔය පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
තලාතුඔය පොලිස් වසමේ හාරගම මාලිගාතැන්න ප්‍රදේශයේ පිහිටි අක්කර 20ක් පමණ වන ඉඩම දයා ගමගේ මහතා විසින් බැංකුවට උකස් කර අදාළ මුදල ලබාගෙන ඇත්තේ 2013 වසරේදීය. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය මෙන්ම ඇමැති ධුරයක් ද හොබවන ලද දයා ගමගේ මහතාට අයත් එම ඉඩම ජාතික සංවර්ධන බැංකුව මඟින් වෙන්දේසි කිරීමට තීරණය කිරීමෙන් පසු බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු වන දුෂ්‍යන්ත ධම්මික බණ්ඩාර හේරත් මහතා ඇතුළු කණ්ඩායමක් ඊයේ (11) පෙරවරුවේ අදාළ ඉඩම වෙත ගොස් ඇත.
වෙන්දේසි කටයුතු සිදු කරමින් තිබියදී දයා ගමගේ මහතා පෙරවරු 11.00 ට පමණ පැමිණ එම වැඩකටයුතුවලට බාධා කරමින් වෙන්දේසි ලේඛන උදුරා ගත් බව දුෂ්‍යන්ත ධම්මික බණ්ඩාර හේරත් මහතා තලාතුඔය පොලීසියට පැමිණිල්ලක් කරමින් ප්‍රකාශ කර තිබේ.
අදාළ වෙන්දේසිය නිත්‍යනුකූල නොවන බව පවසමින් දයා ගමගේ මහතා ද පැමිණිල්ලක් කළ බව තලාතුඔය පොලීසිය පවසයි.
@දිනමිණ