Latestදේශීය

මන්නාරම සුළං විදුලි බලාගාර ඉදිකිරීම් මසකට අත්හිටුවයි

මන්නාරම ප්‍රදේශයේ ආරම්භ කර ඇති මෙගාවොට් 20ක සහ යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදිකිරීම් කටයුතු මසකින් කල්දැමීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම යෝජිත සුළං විදුලි බලාගාරය සහ ඒ සම්බන්ධ මතු වී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනය,

සුළං බලාගාරය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට ඇති වී ඇති ගැටලු පිලිබඳව සොයා බලා ඒ සඳහා විසඳුම් ලබා දීමට අවශ්‍ය ව්‍යුහයක් ඇති කිරීමටද මෙහිදී තීරණය විය. එසේම ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත් ප්‍රදානය කර, මේ වනවිට ආරම්භ කර ඇති මෙගාවොට් 20ක සහ යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ද තීරණය කරන ලදී. 

බලශක්තිය යනු ප්‍රදේශයේ පමණක් නොව රටේ ජාතික සම්පතක් බවත්, විදුලිය ප්‍රශ්නය ගෘහස්ථ විදුලි බිලට පමණක් නොව රටේ නිෂ්පාදන පිරිවැය, විදෙස් ආයෝජන සහ සමස්ත ආර්ථිකය සමඟ බැඳී පවතින බවත් ජනාධිපතිවරයා විසින් මෙම සාකච්ඡාවේදී පෙන්වා දෙනු ලැබීය.

මෙම ව්‍යාපෘති මඟින් ජනතාවගේ ජීවන වෘත්තියට, ආර්ථිකයට හා ජීවිතය පවත්වාගෙන යාම සඳහා වන බලපෑම් සහ ජනතාවගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට රජය ඕනෑම අවස්ථාවක සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

රටේ සියලුම සම්පත් මේ රටේ ජනතාවට අයිති බවත් බලශක්තිය යනු එක් ප්‍රදේශයකට සීමා වන දෙයක් නොව සමස්ත රටේම ජනතාවගේ අයිතියක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය. 

සංවර්ධන ව්‍යාපෘති තවදුරටත් පමා කිරීමෙන් සිදුවන්නේ රටේ ආර්ථිකය ගොඩනැගීමට තිබෙන අවස්ථාව මඟ හැරයාම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සංවර්ධන ව්‍යාපෘතිවලට විරෝධතා දැක්වීම නිසා සිදුවන්නේ  ආයෝජකයින්ට, කර්මාන්තකරුවන්ට සහන ලබාදීමට ආණ්ඩුවට නොහැකි වීම  බවද සඳහන් කළේය.

එම නිසා සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සියලු පාර්ශ්ව එකඟතාවයන්ට පැමිණිය යුතු බවත් සංවර්ධන ව්‍යාපෘති සිදුකෙරෙන ප්‍රදේශයේ ජනතාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක විසඳුම් ලබාදීමට රජය සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. 

මෙහිදී මන්නාරම ප්‍රදේශය නියෝජනය කරමින් පැමිණි ආගමික නායකයින් ඇතුළු ජනතාව කියා සිටියේ, ඉල්මනයිට් ව්‍යාපෘතිය සහ සුළං බලාගාර ව්‍යාපෘතිය නිසා පරිසර හානි මෙන්ම ජන ජීවිතයට බලපෑම් එල්ල වන බවය. ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා මධ්‍යම පරිසර අධිකාරියේ ඇගයීම් වාර්තා  අනුමැතියකින් තොරව එම ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක නොකරන බව අවධාරණය කළේය.

පරිසර වාර්තා සහ නිර්දේශ නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳවද එම ජනතාව විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුම්වත් කරන ලදී. 

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ, මන්නාරම ප්‍රදේශයේ ජනතාවට මුහුණ දෙන ගැටලු සොයා බැලීම සඳහා මෙම ව්‍යාපෘතිය මසකින් කල්දමන බවය.

එම  කාලය තුළ ගැටලු සොයා බලා ඊට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී කියා සිටියේය. 

අදානි සමාගම මඟින් විදුලි ඒකකයක් අමෙරිකානු ඩොලර් ශත 8.26කට මිලදී ගැනීමට තිබූ අතර එය ලංකාවේ මුදලින් රුපියල් 25කි. නමුත් මෙම සුළං විදුලි ව්‍යාපෘතියේ  නිෂ්පාදිත විදුලි ඒකකයේ මිල අමෙරිකානු ඩොලර් ශත 4.65ක් වන අතර එය ශ්‍රී ලංකා රුපියල් 13ක්වේ. විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමේ සාමාන්‍ය මිල රුපියල් 13ක අවස්ථාවරයකට පවත්වාගෙන යාමට රජය සැලසුම් කර තිබේ. 

උතුරේ කෝකිලායි පාලම ප්‍රතිසංස්කරණය කිරීම සහ මන්නාරම නව ජල යෝජනා ව්‍යාපෘතිය සඳහා ලබන අයවැය මඟින්  ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

සුළං විදුලි බලාගාරය හේතුවෙන් මන්නාරම ප්‍රදේශයේ ඇති විය හැකි ගංවතුර තත්ත්වයක් තිබේ නම් ඒ පිළිබඳ වාර්තාවක් සකසා දෙන ලෙස ඉඩම් ගොඩකිරීමේ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මෙහිදී සඳහන් කළේය.

ඉඩම් ගැටලු විසඳීම සඳහා, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ඉඩම් අමාත්‍යංශය සහ පරිසර අමාත්‍යංශය එක්ව උතුරේ ඉඩම් පිළිබඳ වාර්තාවක් සකස් කර යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය.

උතුරු පළාත් ආගමික නායකයින්ද, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ යන මහත්වරු සහ උතුරු පළාත නියෝජනය කරන පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ මන්නාරම පුරවැසි කමිටු නියෝජිතයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *