Latestදේශීය

විශ්වාසභංගයට සර්වජන බලය නැහැ – දිලිත් ජයවීර

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය ගෙන ඒමට සැලසුම් කර ඇති විශ්වාසභංග යෝජනාවට සර්වජන බලයේ සහායක් හිමි නොවන බව සිය ස්ථාවරය පැහැදිලි කරමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පැවසීය.

ඒ සම්බන්ධයෙන් ඊයේ (14) පැවැති ජනහමුවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීවේය. “සර්වජන බලය ලෙස අපි හැමදාමත් රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා. නියෝජ්‍ය ඇමැතිවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන විශ්වාසභංගය ආරම්භ වන්නේ එතුමා නැඟෙනහිර ආඥාපතිවරයාව සිටියදී වූ සිදුවීමක් හා සම්බන්ධ කරලා.

දින 52 ව්‍යවස්ථා කුමන්ත්‍රණය අවස්ථාවේදී මේ පුද්ගලයා තනතුරට පත්කිරීම නිසා පාස්කු ප්‍රහාරය හා අදාළ සිදුවීම්වලට ඔහුගේ නොසැලකිල්ල හෝ ක්‍රියාත්මක වීම නිසා බලපෑමක් සිදුව ඇති බවයි එහි ආරම්භයේ සඳහන් වන්නේ. අපි තවදුරටත් පාස්කු ප්‍රහාරය පිටුපස මහ මොළකරුවකු හෝ කුමන්ත්‍රණයක් තිබෙන බව සලකන්නේ නැහැ.

එය අපි දිගින් දිගටම එය පැහැදිලි කිරීම නිසා රටේ බොහෝ දෙනකුට ඒ පිළිබඳ සාධාරණ විග්‍රහයක් මේ වනවිට තිබෙනවා. ඒ නිසා අපි ඒ දෘෂ්ටිකෝණයෙන් බලන්න සූදානම් නැහැ. මොහු අද නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා බව ඇත්ත. නමුත් විශ්වාසභංගයට පාදක කරගන්නේ ඉතා කීර්තිමත් යුද හමුදාවක් වන ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨයෙක් විදියට කටයුතු කරන සමයේ වූ සිදුවීමක් සම්බන්ධයෙන්.

මෙය අපේ කීර්තිමත් යුද හමුදාවේ කීර්ති නාමය කෙලෙසන්න විවිධ ආකාරයේ බලපෑම් එල්ල වෙමින් තිබෙන අවස්ථාවක්. ජිනීවාවල නාඩගමත් ආයෙත් ළඟදී තියෙනවා. මේ කරන්නේ, අපේ රටේ රණවිරුවකු පාර්ලිමේන්තුවේ සංවාදයට ලක්කරමින් යුද හමුදාවේ රණවිරුවන්ගේ කීර්ති නාමය නසන්න හැදීමක්. ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා ගෙදර යවන්න බැරි බව දැන දැනම අරගෙන එන විශ්වාසභංගයක්.

හරි නම් ඔහු නියෝජ්‍ය ඇමැතිවරයෙක් වශයෙන් කටයුතු කරමින් කිසිදා නොවූ විරූ ඝාතන රැල්ලක් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් විශ්වාසභංගයක් ගේන්න ඕනෑ. මම දන්න තරමින් විපක්ෂය ලෙස ගන්න මේ ක්‍රියාමාර්ගවලින් වෙන්නේ, ආණ්ඩුවේ බෙදීමක් නොමැති බව තහවුරු කරන්න අවස්ථාවක් සැලසීමයි. රට අර්බුදයකට පත්ව තිබෙන මේ මොහොතේ විපක්ෂය ඉදිරියෙන් සිටිය යුතුයි. මෙරට විපක්ෂ දේශපාලනයෙහි නොදැනුවත්කම ප්‍රදර්ශනය කරන අවස්ථාවක් ලෙස සටහන් වෙයි.”ිි

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *