පළමු පියවර පොලීසිය පිරිසිදු කිරීමයි – පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය
“නිවට නියාලු අපරාධකාරයෝ පිරිසක් ඔවුන්ට කෙලින් මුහුණ දෙන්න බැරිව තමන් ජාතක කරවූ නමින් පෙනී ඉන්න බැරි පිරිසක් විදේශගත වෙලා මේ අපරාධ මෙහෙයවනවා. ඔවුන්ව මෙහෙයවන දේශපාලනඥයන් පිරිසක් ඉන්නවා. ඔවුන් සමග සම්බන්ධ වෙමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් ඉන්නවා. මේ සියල්ල පාලනය කර රටේ නීතිය හා සාමය ආරක්‍ෂා කර ගැනීම සඳහා නීතිය දැඩි කිරීමට පියවර ගන්නා බව නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඊයේ (14දා) කියා සිටියේය.
නව පොලිස්පතිවරයා වැඩ භාර ගැනීමේ උත්සවය ඊයේ පෙරවරුවේ පොලිස් මූලස්ථානයේ දී ඉතාම චාම් සහ ප්‍රතාපවත් ආකාරයට පැවැත් විණි.
එහිදී මාධ්‍ය අමතමින් ප්‍රියන්ත වීරසූරිය මහතා මෙසේ ද කියා සිටියේය.
මත්ද්‍රව්‍ය සහ පාතාල අපරාධ ක්‍රියාකාරකම් මැඬපැවැත්වීම සඳහා විශේෂ වැටලීම් පවතින නීති යටතේ දිගට ම කරගෙන යෑමට නොහැකි බව ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍යවරයා සහ මහජන ආරක්‍ෂක අමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා. ඒ නිසා මේ ගැටලු විසඳීම සඳහා අපි නීති සම්පාදනය කරමින් සිටිනවා.
අපරාධ සහ දූෂණවලට සම්බන්ධ වීමෙන් වැළකී සිටීමට නොහැකි පුද්ගලයන් සමග කටයුතු කිරීම සඳහා නව නීති අවශ්‍ය වෙනවා. ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගෙනුත් අපට උපරිම සහයෝගය ලැබී තිබෙනවා. ඔවුන්ගේ සහාය උපයෝගී කර ගැනීම සහ සබඳතා ශක්තිමත් කිරීමට පියවර ගන්නවා.
රටේ වැඩි වෙමින් තිබෙන වෙඩි තැබීම් ඇතුළු අපරාධ සහ මත්ද්‍රව්‍ය ආශ්‍රිත ක්‍රියාකාරකම් මර්දනයට අවශ්‍ය වන මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීමට පවතින නීතිරීතිවල අඩුපාඩු හඳුනාගනිමින් සිටින බවද ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටියේය.
මේ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා පළමු පියවර පොලිසිය පිරිසිදු කිරීම සමග ආරම්භ කරන බවද පොලිස්පතිවරයා පවසයි.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් වීරසූරිය මහතා මෙසේ ද කීවේය.
අද සමාජයේ අවි ආයුධ සංසරණය විශාල වශයෙන් සිදුවෙනවා. සාමාන්‍ය පුරවැසියන් අත විශාල ගිනි අවි සංඛ්‍යාවක් තිබෙනවා.
මේ ආයුධවලින් වැඩි ප්‍රමාණයක් ත්‍රිවිධ හමුදාවෙන් ලබාගත් ආයුධ. එල්.ටී.ටී.ඊ. යට අයත් ආයුධ, ත්‍රිවිධ හමුදාවෙන් සොරාගත් ආයුධ ඊට ඇතුළත් වෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ ආයුධ නැතිවීම් ගැන විශේෂ පරීක්‍ෂණයක් සිදු කරමින් තිබෙනවා.
ඒ වගේම අපරාධ සහ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම්වලට සම්බන්ධව පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය හා නීතිමය පියවර ගන්නා බවත් වැරදි කළ නිලධාරීන් වූවොත් ඔවුන් රාජකාරියෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටියේය.
පොලිස්පතිවරයා වැඩ භාර ගැනීමේ උත්සවයට සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සහභාගි වූහ.
@දිවයින