Latestදේශීයමතවාද

රත්වත්තේ වලව්වේ නාස්තිකාර පුත්‍රයා

(වී. විතානගේ)

ලොහාන් රත්වත්තේ කරළියට ආවේ කොල්ලුපිටියේ කාල්ටන් ක්ලබ්හී පැපුවාගිනියාහී අතිශය ජනප්‍රිය රගර් ක්‍රීඩකයකු වූ ජොයෙල් පෙරේරා ඝාතනය වීමත් සමගය. ජොයෙල් පෙරේරා ඝාතනය සිදුවන තැන ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ ආරක්‍ෂකයින් සිටි බවත්, ජොයෙල් ඝාතනය කළේ ලොහාන් යැයි ලොහාන්ට චෝදනා එල්ල විය.

ජොයෙල් ඝාතනයට ලොහාන් සම්බන්ධ බවත්, එය යටගහන්න ඔහුගේ පියා අනුරුද්ධ රත්වත්ත නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති ධුරය පාවිච්චි කරන බවත් එවකට විපක්‍ෂය වූ යූ.ඇන්.පී.ය චෝදනා කළේය. අනුරුද්ධ රත්වත්තේ කීවේ ඝාතනයට තම පුතා වගකිව යුතු නම් තමා එම පරීක්‍ෂණවලට මැදිහත් නොවන බවය.

කෙසේ හෝ ලොහාන් රත්වත්තේ ජොයෙල් පෙරේරා ඝාතන චෝදනාවෙන් බේරුනත් විපක්‍ෂය දිගින්දිගටම කීවේ ආණ්ඩුව වෙනත් අයෙක්ව ඝාතකයා ලෙස ඉදිරිපත් කොට ලොහාන්ව බේරා ගත් බවය. ලොහාන් ඝාතනයට වගකිව යුතු බව විපක්‍ෂය එළිපිටම කීවේය.

මෙම 2001 මහ මැතිවරණයේදී මහනුවර ජයගන්න අනුරුද්ධ රත්වත්තේ මරාගෙන මැරෙන සටනක් දියත් කළේය. ඔහු සහ ඔහුගේ පුතා ලොහාන් රත්වත්තේ ඒ සටනේ නායකයන් විය.

උඩතලවින්නේ මුස්ලිම් කොංග්‍රසයට සහාය දැක්වූ ප්‍රබල ආධාරකරුවන් 10ක් උඩතලවින්නේදී ඝාතනය විය. මෙම ඝාතනයට චෝදනා ලබන්නේ අනුරුද්ධ සහ ඔහුගේ පුතුන් දෙදෙනා වූ ලොහාන් රත්වත්තේ සහ චානුක රත්වත්තේය.

අනුරුද්ධ සමග ලොහාන් සහ චානුක අත්අඩංගුවට පත්වන්නේ උඩතලවින්න දස පුද්ගල ඝාතනයට කුමන්ත්‍රණ චෝදනා ලබමින්ය. එම මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්ක මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීම කල් දමන්නේ මේ ඝාතනය සහ මහනුවර යුද පිටියක් කළ ඡන්ද මංකොල්ලය නිසාය. අනුරුද්ධ රත්වත්තේගේ දේශපාලනය එතැනින්ම අවසන් විය.

අනුරුද්ධ රත්වත්තේගේ දේශපාලනය අවසන් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහින්ද රාජපක්‍ෂගේ නැඟීමෙනි. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ අගමැති වී දිනක ජනාධිපති වෙන්න අනුරුද්ධ රත්වත්ත හීන දැක්කේය.

ඔහු එලෙස හීන දකින කාලයේ ඔහුගේ පරම දේශපාලන හතුරා වූයේ මහින්ද රාජපක්‍ෂය. මහින්ද අනුරගේ ගෝලයෙක් වීම නිසා අනුරුද්ධ මහින්දව මායිම් කළේ නැත. මහින්දත් යූ.ඇන්.පී.යේ සිටි අනුර ලව්වා අනුරුද්ධට පහර ගැසුවේය. අවසානයේ අනුරුද්ධගේ දේශපාලනය අවසන් වී මහින්ද අනුරුද්ධගේ තැනට ඇවිත් චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ අගමැති විය.

2005 ජනාධිපතිවරණයට මහින්ද තරග කරද්දී අනුරුද්ධ රත්වත්තේ ලෙඩ වී සිටියත් ලොහාන් සහ චානුක මහින්දට සහාය දුන්නේ රගර් ක්‍රීඩාව හරහා ලොහාන් සහ රාජපක්‍ෂ පුත්තු මිත්‍රයන් වී සිටි නිසාය.

තාත්තලාගේ තරහමරහකම් අමතක කොට රගර් ක්‍රීඩාවෙන් රාජපක්‍ෂලා සහ රත්වත්තේලා එක්විය. 2006දී මහාධිකරණ විනිසුරු දීපාලී විජේසුන්දර අනුරුද්ධ රත්වත්තේ සහ ඔහුගේ පුත් ලොහාන්, චානුක උඩතලවින්න ඝාතන චෝදනාවෙන් නිදහස් කරනු ලැබීය. අනුරුද්ධ රත්වත්තේගේ ආරක්‍ෂකයන් ඝාතනයට වැරැදිකරුවන් විය.

අනුරුද්ධ රත්වත්තේ ලෙඩ වී මියයෑමෙන් පසු ලොහාන් රත්වත්තේ දේශපාලනයට එන්නේ මහින්දගේ ආරාධනයෙනි. 2010 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට එන ලොහාන් මහින්දගේත්, රාජපක්‍ෂ පවුලේත් සමීපතම ආරක්‍ෂකයෙක් බවට පත්වේ. 2015 මහින්ද පරාජය වීමෙන් පසුවත් මහින්දගේත්, රාජපක්‍ෂ පවුලේත් ආරක්‍ෂකයකු ලෙස ලොහාන් පෙනී සිටී.

ලොහාන්ගේ දුව සහ මහින්දගේ පුතකු අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වන අතර, ඔවුන් විවාහ වීමට නියමිත බවට මාධ්‍ය වාර්තාද පලවිය. එහෙත් එය සිදු වූයේ නැත. එයින් පසු ලොහාන් සහ රාජපක්‍ෂ පවුල සමග සමීප සම්බන්ධයක් නොවීය. එම විවාහය සිදු වූවා නම් එය රාජපක්‍ෂලා, රත්වත්තේලා එක් කළ ඓතිහාසික විවාහයකි.

ලොහාන් යළි කරළියට එන්නේ ගෝඨාභය ජනාධිපති වී ඔහුව බන්ධනාගාර බාර රාජ්‍ය ඇමැති ලෙස පත් කිරීමෙන් පසුවය. ඔහු පත්වීම ලබන විට ජොයෙල් පෙරේරා ඝාතනය මෙන්ම උඩතලවින්න දස පුද්ගල ඝාතනයද මිනිසුන්ට අමතක වී තිබුණි.

ලොහාන් ඒ අතීතය යළි මතක් කරවන්නේ රුවන්මහවැලි සෑයට රෑ ජාමයේ බීමතින් ගොස් යකා නැටීම මාධ්‍ය අනාවරණය කළාට පසුවය. ඔහුගේ අලුත්ම සෙල්ලම අනුරාධපුර බන්ධනාගාරයට ගොස් තුවක්කු පෙන්වා රැඳවියන්ට තර්ජනය කිරීමය.

ඔහු ඒ නාඩගම රඟදැක්වූයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ලංකාවට එරෙහි යෝජනාව සාකච්ඡා කරද්දීය. මහින්ද ලොහාන්ට ඉවත් වෙන්න කීවේත්, ගෝඨාභය ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගත්තේත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට බයේය. මන්ද ලොහාන් තර්ජනය කළේ දමිළ දේශාපලන සිරකරුවන්ටය.

රත්වත්තේලාගේ දේශපාලනයේ සොහොන් ලකුණු දැන් පෙන්වමින් තිබේ. ඉතිරිව සිටින්නේ රාජපක්‍ෂලා පමණි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *