Latestදේශීය

පැනගිය කමාන්ඩෝ සෙබලුන් 18ක් කුලී ඝාතනවල

කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයා විසින් මෙහෙයවන පාතාල කල්ලියට යුද හමුදා කොමාන්ඩෝ බළකායෙන් පලා ආ සෙබළුන් 18 දෙනකු කුලී ඝාතකයන් ලෙස බඳවාගෙන සිටින බව විශේෂ විමර්ශනයකදී හෙළි වී ඇත.

මෙසේ බඳවාගත් හිටපු කොමාන්ඩෝ සෙබළුන් අතරින් 09 දෙනෙක් පමණ මේ වනවිට පෑලියගොඩ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කර සිටින බවද පොලිස් ආරංචි මාර්ග කියා සිටියි.

හිටපු කොමාන්ඩෝ සෙබළුන් යොදාගෙන කුලී ඝාතකයන් කල්ලියක් බිහි කිරීමේ මූලිකයා ලෙස කටයුතු කර ඇත්තේ කෙහෙල්බද්දර පද්මේගේ කල්ලියේ මහ මොළකරු ලෙස සැලකෙන කොමාන්ඩෝ සලින්ත විසින් බවද අනාවරණය වී ඇත.

මෙම කුලී ඝාතකයන් ලෙස සිටින සියලුම හිටපු කොමාන්ඩෝ සෙබළුන් අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෝය. මොවුන්ට පාවිච්චිය සඳහා මත්ද්‍රව්‍ය ලබා දී ජීවත්වීමට මුදලක් ද මාසිකව ලබාදී තමන්ට අවශ්‍ය වේලාවන්වලදී කුලී ඝාතකයන් ලෙස මොවුන් යොදා ගැනීමට පද්මේ සහ කොමාන්ඩෝ සලින්ත සැලසුම් කරගෙන සිටිනා බව වාර්තා වෙයි.

පද්මේගේ කල්ලියට සම්බන්ධ වී සිටින හමුදාවෙන් පලාගිය කොමාන්ඩෝ සෙබළුන් බොහෝ දෙනෙක් පිළිබඳ තොරතුරු පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල මහතා විසින් හෙළි කරගෙන සිටින අතර ඉදිරියේදී ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කරන බවද පොලිස් ආරංචිමාර්ග පවසයි.

පාතාල නායක ගනේමුල්ලේ සංජීව අලුත්කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කර තිබුණේද හමුදාවෙන් පලාගිය කොමාන්ඩෝ සෙබළකු විසින්ය.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *